මෙරට පුරවැසියාට රජයේ රෝහලකින් අවම කාලයක දී ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයීම මෙන් ම රෝගී තත්ත්ව පිළිබඳව පසුවිපරම විධිමත් ව සිදු කිරීම උදෙසා රෝගී දත්ත පරිගණක ගත කිරීමේ ව්‍යපෘතිය දිවයින පුරා පිහිටි සියලු ම රෝහල්වල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රෝගී දත්ත පරිගණක ගත කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ සියවන රෝහල ලෙස බදුරලිය ග්‍රාමීය රෝහලේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඊයේ (16) පැවති උත්සවයකට එක් වෙමිනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක් ව ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ සමස්ත රෝහල් පද්ධතිය ම ආවරණය වන පරිදි රෝගී දත්ත පරිගණක කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ (HHIMS -Hospital Health Information Management System) සියවන රෝහල (100) ලෙස බදුරලිය ග්‍රාමීය රෝහල එම පද්ධතියට ඇතුළත් කර ගැනීම සහ රෝගීන් ලියාපදිංචි කර ගැනීම වෙනුවෙන් මෙම උත්සවයක සංවිධානය කර තිබිණි.
මෙම ව්‍යාපෘතිය යටතේ රෝහලක් වෙත පැමිණෙන සෑම රෝගියෙකුගේ ම දත්ත රෝහලේ බාහිර රෝගී අංශයේ දී පරිගණක පද්ධතියට ඇතුළත් කරනු ලබන අතර අනතුරුව වෛද්‍යවරයා සිදු කරන රෝග විනිශ්චය මගින් එළඹෙන තීරණය පරිදි පරීක්ෂණ සහ ඖෂධ නිකුත් කිරීම ඇතුළු සියලු රෝගී දත්ත ද වෛද්‍යවරයා විසින් ම මෙම පද්ධතියට ඇතුළත් කරනු ලැබේ.
ඖෂධ නිකුත් කිරීම ද එම දත්ත පදනම් කර ගනිමින් ඖෂධවේදීන් විසින් සිදු කරනු ලබයි. නැවත දිනයක දී යළි රෝහල වෙත රෝගියා පැමිණීමේ දී ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය හෝ මුල් අවස්ථාවේ නිකුත් කරන අනන්‍යතා කාඩ්පත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වන අතර එහි දී රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ සියලු දත්ත මෙම පද්ධතිය හරහා ම ලබා ගැනීම සිදු වනු ඇත.
අදාළ රෝගියා මෙම පද්ධතිය ක්‍රියාත්මක වන දිවයිනේ කුමන ප්‍රදේශයක පිහිටි රෝහලකින් සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට යාමේ දී රෝගීයාගේ හැදුනුම්පත් අංකය හෝ අනන්‍යතා අංකයක් (Barcode) ඇතුළත් කිරීමෙන් එම රෝගියාගේ ඉදිරි ප්‍රතිකාර සිදුකිරීම සදහා රෝගී දත්ත ඉතිහාසය ලබා ගැනීමේ පහසුකම ද මෙමගින් ඉදිරියේ දී සැලසෙනු ඇත.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන රෝහලකට රෝගියෙක් පැමිණිවිට එක්වරක් පමණක් ලියාපදිංචිය සිදුකිරීම ප්‍රමාණවත් වීම ද මෙම පද්ධතියේ විශේෂත්වයකි. එමෙන් ම මේ තුළින් කාර්යක්ෂම, ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් අවම කාලයක් තුළ දී රෝගියාට ලබා ගැනීමට ඇති හැකියාව ද විශේෂත්වයකි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඖෂධ පිළිබඳ ගැටලු සඳහා ද විසඳුම් සොයා ගැනීමට මෙම ක්‍රමය ආධාරකයක් වන බව සඳහන් කළේ ය. වත්මන් ක්‍රියාවලිය යටතේ ඖෂධයක් ටෙන්ඩර් කර රෝහලට ලැබීමට මාස නවයක පමණ කාලයක් ගත වන බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් රෝගී අවශ්‍යතාවය නිසි පරිදි හඳුනාගෙන ඉතා කඩිනමින් මෙරට අවශ්‍යතාවය පරිදි අවශ්‍ය ඖෂධ ලබා දීමට හැකිවනු ඇති බව ද පැවසී ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, ගරා වැටුණු ස්ථානයක් ගොඩනඟන විට පදනම දමා ගැනීමට සැලකිය යුතු කාලයක් ගත වන බව ද, සෞඛ්‍ය යනු අතිශය විද්‍යානුකූලව ගොඩනැගිය යුතු ස්ථානයක් බැවින් එය ඉතා ක්රමාණුකූලව සිදු කළ යුතු බව ද සඳහන් කළේ ය. එමෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය වරින් වර විවිධ ව්‍යාපෘති, වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවත්, අනාගතයේ දී කිසිවිටෙක එම ඵලදායී ව්‍යාපෘති නවතා දැමීම වත්මන් රජයේ අරමුණ නොවන බව ද පැවසී ය.
නව රජයේ ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමී ව මෙරට සියලු ම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන කඩිනමින් මෙම දත්ත පද්ධතියට ඇතුළත් කර ජාලගත කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට අඳාළ සැලසුම් සකස් කර ඇත.