බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අද (19) හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (18) නියම කළේය.
මෝදර ප්රදේශයේ පදිංචිකරුවන් විසින් කළ පැමිණිල්ලකට අනුව සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනා පිටස්තර කිසිවෙකුටත් නොපෙනෙන ලෙස ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරමින් මෝදර පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ මහෙස්ත්රාත්වරයා සැකකරුවන් එතෙක් රක්ෂිත බන්ධනාගාරයෙ රඳවා තැබීමටද නියම කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ කොළඹ උතුර බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකි.
සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කළ මෝදර පොලිසියේ නිලධාරීහු සැකකරුවන් පොලිස් බුද්ධි නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිවිල් ඇඳුමින් සැරසී නිවසට ඇතුළු වී ඇතැයිද මු`ථ නිවසම පරීක්ෂාවට ලක් කළ සැකකරුවන් නිවසේ තිබු මුදල් ලැබුණු පසු ඒවා රැගෙන ගොස් ඇතැයිද දැනුම් දුන්හ.
පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ නිසංසලා දිසානායක මහත්මිය පෙනී සිටි අතර, සැකකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතා පෙනී සිටියේය.