ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුණු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක (නව කෝටි තිස් දෙලක්ෂ හැටන දහස් නවසිය දහ නවයක ) වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
බුන්දල ලේවායේ 2023 දී නිපදවා නිසි කලට ආවරණය කර නොතිබූ රුපියල් 65,425,279 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 1816.19 ක් හානියට පත්ව තිබූ බව විගණනය මගින් පෙන්වාදී තිබේ.
පලටුපාන ලේවායේ රුපියල් 520,640 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 16.27 ක් වසර තුනක් තිස්සේ වේදිකාවක තැන්පත් කර තිබීම නිසා පැහැය වෙනස් වී දියවෙමින් පැවති බවද, 2022 නිපදවූ රුපියල් 27,324,000 වටිනා සුපර් ග්‍රේඩ් වර්ගයේ ලුණු මෙට්‍රික් ටොන් 569.25 ක් ඒවා ආවරණය කර තිබියදී දිරාපත්වූ පොලිතීන් හා පොල් අතු සමග මිශ්‍රවී දියවෙමින් හා තත්වයෙන් බාලවී තිබුණු බවද විගණන කාර්යාලය සඳහන් කරයි.
මෙයට අමතරව බුන්දල ලේවායේ 2016 -2021 නිපදවූ රුපියල් 2,342,398 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 73.98 ක් දිගු කාලයක් තිස්සේ අලෙවි නොකර තිබූ බවද විගණනයෙන් පෙන්වා දී තිබේ.
2023 වසරට අදාළව ලුණු සමාගම සම්බන්ධයෙන් නොබෝදා නිකුත් කරන ලද විගණන වාර්තාවේ සමාගමේ මෙහෙයුම් අකාර්යක්ෂමතා යටතේ සඳහන් කර තිබූ මෙම විගණන නිරීක්ෂණ සම්බන්ධයෙන් ලුණු සමාගම විසින් විගණනය වෙත අදහස් දැක්වීමක්ද කර නැත.
පැරණි ලුණු තොග අලෙවි කර හානි වළක්වා ගන්නා ලෙසත් සිදුවූ හානිවලට අදාළ අලාභය වගකිවයුතු නිලධාරීන්ගෙන් අයකරගත යුතු බවත් විගණනයෙන් ලුණු සමාගමට නිර්දේශ ලබාදී ඇත.තත්වය මෙසේ තිබියදී කර්මාන්ත අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් පසුගියදා ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් මෙරටට ආනයනය කළ අතර ඉදිරියේදී තවත් ලුණු මෙට්‍රික් ටොන් 12,450 ක් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවද වාර්තා විය.
ජේ. ඉඳුරුවගේ