පිරමීඩාකාර මූල්‍ය ගනුදෙනුවලින් ජනතාවගේ රුපියල් කෝටි 1500ක් වංචා කළැයි කියන පොළොන්නරුවේ ‘ස්පොට්ස් චේන්’ නමැති පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ දෙවැනි පෙළ නායකයන් බව කියන සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03දා) නියම කළේය.
මෙම මූල්‍ය ආයතනයේ ප්‍රධාන සැකකරුවන්ට මේ වන විටත් ඇප නියම කර ඇති හෙයින් මෙම සැකකරුවන්ටද ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම් පිළිගනිමින් රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට නියම කෙරිණි.
මෙලෙස ඇප නියම කරන ලද්දේ ‘ස්පොට්ස් චේන්’ නමැති පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ දෙවැනි පෙළ නායකයන් බව කියන පොළොන්නරුවේ සමීර සඳමාල්, අමිල මධුසංක, සුපුන් තාරක, සෙනරත් බණ්ඩාර වලිමුණි, අනුරාධ අමරකෝන් නමැත්තන්ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාවරණ දෙපාර්තමේන්තුව කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලීසියේ මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රහස් පොලීසියේ මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කරුණු දක්වමින් මෙම සැකකරුවන් පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ කටයුතු ප්‍රවර්ධනය කරමින් මුදල් රැස් කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව සැකකාර ආයතනය සම්බන්ධයෙන් විමර්ශන කර එහි දෙවැනි පෙළ නායකයන් වශයෙන් කටයුතු කළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්නේය.
මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ට එකට පස් ගුණයක ප්රතිලාභ ලබාදෙන බවට පවසමින් මෙම පිරමීඩාකාර මූල්‍ය ආයතනය පවත්වා ගෙන ගොස් ඇතැයි දැනුම් දුන් රහස් පොලීසිය, සැකකරුවන් විසින් පිරමීඩාකාර මූල්‍ය ගනුදෙනු කිරීමෙන් රුපියල් කෝටි 1900ක් පමණ මුදලක් වංචා කර ඇති බවට තොරතුරු ඇති බවත් රුපියල් කෝටි 45කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 391ක් ලැබී ඇතැයිද දැනුම් දුන්නේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් තම සේවාදායකයන් අදාළ ආයතනයේ දෙවැනි පෙළ නායකයන් ලෙස හැඳින්වුවත් ඔවුන් ආයතනයේ මුදල් ආයෝජනය කර ඇතැයිද මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන්ට මේ වන විටත් ඇප නියම කර ඇති හෙයින් මෙම සැකකරුවන්ටද ඇප දෙන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය ලබන පෙබරවාරි 06වැනිදා අධිකරණයට දැනුම් දීමට නියෝග කළේය.