රුපියල් පනස්දහසකට වඩා වැඩි වටිනාකම් සහිත ජල බිල්පත් නොගෙවීම නිසා ජල සැපයුම විසන්ධි කරනු ලැබූ දිවයිනේ ජල පාරිභෝගිකයන් 4,448දෙනෙකුගෙන් අය විය යුතු රුපියල් මිලියන 695.48ක මුදලක් අය කර ගැනීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කටයුතු කර නොමැති බැව්, 2024 නොවැම්බර් මස 02වෙනිදා විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
2023 දෙසැම්බර් මස 31වන දින වන විට ජල සැපයුම විසන්ධි කරනු ලැබූ ජල පාරිභෝගියන්ගෙන් මෙම මුදල අය වීමට තිබුණි. හිඟ ණය මුදල අය කර ගැනීමට චක්‍රලේඛන ප්‍රකාරව නීතිමය පියවර ගෙන නොතිබූ බව එම විගණන වාර්තාවේ සඳහන් වේ. මේ පිළිබඳව කරන ලද විමසීමකදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ, 2023 වර්ෂය සඳහා නීතිමය කටයුතු ආරම්භ කිරීමට ජල පාරිභෝගික ගිණුම් 5,993ක් ප්‍රධාන කාර්යාලයට යොමු කොට ඇති බවය.
නීතිමය ක්‍රියාපටිපාටියෙන් රුපියල් මිලියන 617ක හිඟ මුදල් අය කර ගැනීම සඳහා ප්‍රධාන කාර්යාලයේ අය කර ගැනීමේ අංශය වෙත යොමු කොට ඇති බවද මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. මින් 2023 වර්ෂයේදී රුපියල් මිලියන 66ක් සහ 2024 වර්ෂයේ අප්‍රේල් මස 30 දක්වා කාලසීමාව තුළදී රුපියල් මිලියන 55ක මුදලක් අය කර ගැනීමට කටයුතු කර ඇති බවද සඳහන් කොට ඇත.
චන්දන සමරවික්‍රම