උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය වීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික හා නිෂ්පාදන අධ්‍යයන අංශය මඟින් උසස් තත්ත්වයෙන් යුතු Ventilation යන්ත්‍රයක් නිෂ්පාදනය කර, එම යන්ත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යොෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ සහ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය සුමිත් ආනන්ද මහතාගේ අධීක්ෂණයෙන් ද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ජේ.ජී වරුණ ප්‍රියංක මහතාගේ උපදේශකත්වයෙන් ද ඉංජිනේරු ටෙනිස් රංජන්, වෛද්‍ය යූ.අයි.කේ ගලප්පත්ති සහ ඉංජිනේරුපීඨයේ ශිෂ්‍යයකු වන උපේන්ද්‍ර ද සොයිසා යන මහත්වරුන්ගේ දායකත්වයෙන් මෙම Ventilation යන්ත්‍රය නිර්මාණය කර ඇත.
මෙම නව නිර්මාණය කොටස් දෙකකින් සමන්විත වන අතර එමඟින් ඔක්සිජන් ප්‍රතිශතය සහ වායු පරිමාව පාලනය කිරීමේ හැකියාව මෙන්ම සාමාන්‍ය තත්ත්වය යටතේ ක්‍රියාත්මක වීමේ හැකියාව සහිත Ambu bag තාක්ෂණය ද සහිතව නිෂ්පාදනය කර ඇත.
මෙම Ventilation යන්ත්‍රය නිෂ්පාදනය සඳහා රුපියල් ලක්ෂ 3ක පමණ වියදමක් දරන්නට සිදුව ඇති අතර, ඒ සඳහා ජාතික විද්‍යා පදනම මඟින් අරමුදල් සපයා ඇත. ඉදිරියේ දී මෙම යන්ත්‍රය වඩාත් දියුණු තත්ත්වයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව ඇති බව ද ඔවුහු පවසති.
මෙම Ventilation යන්ත්‍රය මෙරට දී රුපියල් ලක්ෂ 5ක වෙළෙඳපොළ වටිනාකමකින් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. තවද මෙම යන්ත්‍රය ස්මාර්ට් ජංගම දුරකථනයකින් හැසිරවිය හැකි ලෙස වැඩි දියුණු කිරීමට ද අදහස් කර ඇත.