මෙවර මහ මැතිවරණයට තමන්ට නාමයෝජනා ලබා නොදී වෙනත් අයකුට එම අවස්ථාව ලබාදීම නිසා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ජාතික සංවිධායක ධුරයෙන් හා එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වු බව හිටපු රාජ්‍ය අමාත්‍ය හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.
ත්‍රිකුණාමලය කින්නියාහි පිහිටි සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (28) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා එසේ පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුප් මහතා නායක රිෂාඩ් බද්යූදීන් මහතා කින්නියා පැමිණ සංවිධායකවරු හමුවෙලා සාකච්ඡා කළා. මට එහිදී ලබාදීමට තිබූ නාමයෝජනා අවස්ථාව වෙනත් අයකුට දීලා ගියා. මම අවුරුදු දහයක් මෙම පක්ෂයේ කටයුතුවලට විශාල කැප කිරීමක් කරලා විශාල ඡන්ද ප්‍රමාණයක් අරන් දුන්නා. එහෙම තියෙද්දි මේ තත්ත්වය තුළ මට ඉන්න බැරි නිසා කලකිරිලා මම ඉවත් වුණා. මගේ ඉල්ලා අස්වීම ඉදිරියේදී පක්ෂ නායකත්වයට ලිඛිතව ලබාදීමට නියමිතයි. ඉදිරියේදී මම මහ මැතිවරණයට වෙනත් පක්ෂයකින් තරඟ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ පක්ෂය මොකක්ද කියලා දැම්ම කියන්න බැහැ යැයි පැවසීය .
පසුගිය ජනාධිපතිවරණයට සමස්ත ලංකා මහජන කොංග්‍රසය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ අතර හිටපු ජාතික සංවිධායක අබ්දුල්ලා මහරුප් මහතා මෙයට විරෝධය දක්වා ජනාධිපතිවරණ කටයුතුවලින් ඉවත් වී තිබුණි .