කළුතර උතුර ගාලු පාරේ කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිටුපස ගැටි මෝටර් රථය අනතුරකට ලක්වීමෙන් අනතුරුව මෝටර් රථයේ එම ස්ථානයේ දමා පලා ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ පොලිසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.
සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කළුතර සිට කොළඹ දෙසට මෝටර් රථයක් ධාවනය කරමින් සිටියදී එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මතුගම සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයේ පිටුපස ගැටී අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී මෝටර් රථයෙන් පිටතට පැමිණ ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිදුවූ අනතුරට රියදුරුගෙන් අලාභ ඉල්ලා ඔහු සමඟ බහින් බස් වීමක් හටගෙන ඇති අතර අනතුරුව මෝටර් රථය එම ස්ථානයේ දමා පලා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ