රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව හතරදෙනෙකුගේ පවුලකට ජීවත්වීම සඳහා මාසයකට රුපියල් 76,000ක මුදලක් අවශ්‍ය බවට පෙන්වාදී තිබෙන බවත්, එහෙත් රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 28,000ක බවත් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
මේ නිසා වැටුප් වැඩි කිරීමක් සිදුකරන තෙක් මාසයකට රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ලබන සතියේදී රජයට යෝජනාවක් භාරදීමට කටයුතු කරන බවද එම එකමුතුවේ සාමාජික සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.
ප්‍රාථමික සේවාවේ ආරම්භක වැටුප හා දීමනා සියල්ලම එකතු වුවත් රුපියල් 30,000ක මාසික වැටුපක් ලබාගැනීමට නොහැකි බවත්, පවතින ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවයේ නිරත ලක්ෂ පහළොවක ප්‍රමාණයෙන් ලක්ෂ දහතුනක ප්‍රමාණයකට ජීවත්වීමට ප්‍රමාණවත් මාසික වැටුපක් නොලැබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
සමහර රාජ්‍ය සේවකයන් රාජකාරී සඳහා අහාර රැගෙන ඒමේදී එළවලුවකුයි බතුයි පමණක් රැගෙන එමින් තිබෙන බවත්, මෙය ඉතාමත් ශෝචනීය තත්ත්වයක් බවත් පවසා සිටි ඒ මහතා, මේ නිසා ආණ්ඩුව මේ පිළිබඳ අවධානය යොමුකර ඉදිරි අයවැය තුළින් වැටුප් වැඩි කිරීමක් සිදුකළ යුතු බවත් ලේකම්වරයා සඳහන් කළේය.
වැටුප් වැඩි කරන තෙක් අදාළ දීමනා ලබාදීමට කටයුතු කළ යුතු බවත්, 2016 වසරින් පසු රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමා නොමැති නමුත්, 2016 වසරේ සිට මේ දක්වා කාලය තුළදී භාණ්ඩ හා සේවා මිල 300෴කින් ඉහළ ගොස් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.