වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වෙනස් කළහොත් සමස්ත රට නැවත වරක් කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.
එබැවින්, ඉදිරි ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය භාවිතා කිරීමේ දී නිවැරදි තීන්දුව ගැනීමට ලක්ෂ 15 කට අධික රාජ්‍ය සේවක ප්‍රජාව කටයුතු කළ යුතු බවද ඒ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය, ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉතාම වැදගත් සංධිස්ථානයක් බව ජනතාව මතක තබාගත යුතුයි. ඒ වගේම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත් ඒ ගැන ඉතාම කල්පනාවෙන් බැලිය යුතුයි. මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිමය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළා. ඉන් එක නිතිමය තත්වයක් තමයි ශ්‍රී ලංකා මහ බැංකු පනත. ඒ වගේම රාජ්‍ය ණය කළමනාකරණය කිරිමේ පනත, පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත ද ගෙනවිත් තිබෙනවා . දැන් ඒවා මේ රටේ නීතිය බවට පත්ව ඇති බව මේ මැතිවරණ කාලයේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කරන අය හොඳට මතක තබා ගත යුතුව තිබෙනවා.
ඒ වගේම පිටු 165 කින් සමන්විත ආර්ථික පරිවර්තන පනතද මේ වන විට සම්මත කර තිබෙනවා. කවුරු මොන ප්‍රතිපත්තිය ඉදිරිපත් කළත් ඒවා මේ නීති ප්‍රකාරව සිදුකළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මුල්‍ය සංවිධාන, ණය හිමි රටවල් සමඟ ද අප එකඟතා ගිවිසුම් අත්සන් කර තිබෙන්නේ මේ නීති අනුව කටයුතු කරන බව තහවුරු කරමින්. ඒ නිසා මේ වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි. එය සංශෝධනය කළොත් හෝ ආපසු හැරවුවොත් සමස්ත රට යළි කඩා වැටෙනවා.
ඒ නිසා ලක්ෂ 15 කට අධික රාජ්‍ය සේවකයන් ඉදිරි ජනාධිපතිවරණයට නියමිත සැප්තැම්බර් 3,4,5,6 යන දින වල පැවැත්වෙන තැපැල් ජන්දය භාවිතා කිරීමේදී නිවැරදි තීන්දුවක් ගත යුතුයි. ඇතැමුන් හොරු අල්ලන්න බලය ඉල්ලනවා. නමුත් දැන් අරයා හොරා මෙයා හොරා කියමින් ඉන්න අවශ්‍ය නෑ. ආසියාවෙ තියෙන බලවත්ම දූෂණ විරෝධී පනත ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා . දැන් තිබෙන්නේ අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමයි.
රාජ්‍ය යාන්ත්‍රණයේ රාජ්‍ය සේවකයන්ට පසුගිය සමයේ රුපියල් 10000 ක ජීවන වියදම් දීමනාවක් ලබාදුන්නේ. ඒ වගේම 2025 සිට (සෑම වසර තුනකට වරක් සංශෝධනයන්ට යටත්ව) ජීවන වියදම් දීමනාව මාසිකව රුපියල් 25000 බැගින් ලබාදෙන්න කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය සේවකයාගේ ආරම්භක වැටුප 24%කින් වැටුප වැඩි කරන්නත් ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රු. 55000ක ඉලක්කයකටත් තල්ලු කළ යුතුයි කියල වර්තමාන ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන් කර තිබෙනවා. මේ සියල්ල සඳහන් කර තිබෙන්නේ ඉහත මා සඳහන් කළ නීති රාමුව තුළයි.ඊට පිටින් කටයුතු කළ නොහැකියි . ඒ නිසා ඔය විවිධ පාර්ශව විවිධ යෝජනා , පොරොන්දු ඇතුළත් කළත් ඒ පොරොන්දු යතාර්ථයක් වෙන්න ඉඩක් නැති බවත් සිහිතබා ගත යුතුයි .
එනිසා රාජ්‍ය යාන්ත්‍රණය සියලු දෙනා කල්පනාවෙන් වැඩ නොකළොත්, මේ රට යළිත් කඩා වැටෙනවා. 2019 දී රාජ්‍ය සේවකයන් ඒ වැරැද්ද කළා. ආයෙත් ඒ වරද කරන්න එපා .
වෛරයක් ක්‍රෝධයක් පළිගැනීමක් අවශ්‍ය නම් පාර්ලිමේන්තු මැතිවරණය ආවම එතුමට වැඩ කළ හැකි කණ්ඩායමක් තෝරලා යවන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායමත් එක්ක එතුමා වැඩ නොකර කාත් එක්ක වැඩ කරන්නද ? ප්රජාතන්ත්ර විරෝධී වැඩ කරන්න බෑ. එහෙනම් මහජනයා තෝරපු කණ්ඩායමත් එක්ක තමයි එතුමා පසුගිය අවුරුදු දෙක වැඩ කටයුතු සිදුකළේ. ඒ නිසා ඊළඟ ඡන්දේදි පුළුවන් මේ කතා කරන මමත් පරාජය කරන්න. මාව පරාජය කරාට කමක් නෑ රනිල් පරාජය කරන්න එපා. රනිල් පරාජය කළොත් ජාතියක් අවසන් වෙයි. ජාතියක් සුනු විසුනු වෙලා යයි. ජාතියක් අපේ ශ්‍රී ලාංකික භූමියේ නැත්තනැතිම වෙලා යයි. ඔබ සියලු දෙනාම ඉතා සිහි බුද්ධියෙන් සිලින්ඩරයට ඔබේ ඡන්දය පාවිච්චි කරන්න කියලා මා ඉල්ලා සිටිනවා .