අද පාර්ලිමේන්තුව ශුද්ධ කරන්නට ඕනැ කියමින් ජාතික ජන බලවේගය ජනතාවගෙන් ජන්දය ඉල්ලන්නේ යැයි ද නමුත් මෙය මේ රටේ ප්රජාතන්ත්රවාදයට එල්ල කරන බරපතල ප්රකාශකයක් වන්නේ යැයි ද ඒ නිසා ඔවුන්ගෙන් පාර්ලිමේන්තුව බේරා ගැනීමට නම් පාර්ලිමේන්තුව රැක ගැනීමට ඉදිරිපත් වී සිටින නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ අය පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ පෙරේදා ( 06 වැනිදා ) රාත්‍රීයේ සියඹලාපේවත්ත ටැමරින් උත්සව ශාලාවේ පැවැති නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ බියගම ජනහමුව අමතමිනි.
නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයින් වන බියගම ආසනයෙන් ඉදිරිපත් වි සිටින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන හා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් යන මහත්වරුන් විසින් මෙය සංවිධානය කර තිබිණි.
මෙහිදී තවදුරටත් කතා කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
පාර්ලිමේන්තුව කියන්නේ රටේ උත්තරීතර ආයතනයක් වෙනවා. රටට අවශ්‍ය නීතී සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවයි . රට ඉදිරියට ගෙන යාම සදහා අවශ්‍ය අණපනත් සම්මත කරන්නේ පාර්ලිමේන්තුවයි. රටේ මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුවයි. එවැනි උත්තරීතර ආයතනයක් ශුද්ධ කරනවා කියන්නේ බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එහෙම කියන ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් තබන්නට අපට බැහැ. ඒ නිසා එවැනි පක්ෂයක අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට යවන්නට එපා.
ඔවුන් පාර්ලිමේන්තුවට හොර ගූහාවක් කියනවා. එය හොර ගුහාවක් නම් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවට එන්නට හදන්නේ ඇයි. රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ නිසා ඔවුන් පාර්ලිමේන්තුවට ආවොත් එය මේ රටේ ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් එල්ල වීමට පවා ඉඩ තිබෙනවා. ඔවුන්ගේ අතීතය දෙස ආපසු හැරී බැලුවහොත් එය අපට මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා මේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට කැප වී සිටින නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දෙන ලෙසට මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අපගේ පෙරමුණේ රටට වැඩ කර පළපුරුද්දක් තිබෙන මැති ඇමතිවරුන් සිටිනවා. එහෙම අය පාර්ලිමේන්තුවට යවන්න.පළපුරුද්දක් නැති අය පාර්ලිමේන්තුවට යවන්නට එපා. එම අය පාර්ලිමේන්තුවට පත් වුවහොත් රට ඉදිරියට ගෙන යන්නට බැහැ. මේ රට වැටී තිබෙන අමාරු කාලයේ තමයි මා රට භාර ගත්තේ. ඒ අවස්ථාවේ මට එවකට පාර්ලිමේන්තුවේ සිටි අය සහාය ලබා දුන්නා. ඒකයි මට වැටී තිබු රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල ගොඩ ගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකිවුනේ. ජාතික ජන බලවේගයේ රට නැංවීමට පළපුරුද්දක් හා හැකියාවක් තිබෙන අය නැහැ.
මේ ජන්දය පාර්ලිමේන්තුව ශුද්ධ කරන ඡන්දයක් නෙමෙයි. පාර්ලිමේන්තුව බේරා ගන්නා ඡන්දයක්. ඒ නිසා මේ මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව ජන්දය පාවිච්චි කරන්නට ඕනැ. පාර්ලිමේන්තුව හොරු ගුහාවක් කියන පාර්ලිමේන්තුව ශුද්ධ කරනවා කියන ජාතික ජන බලවේගයේ අය පාර්ලිමේන්තුවට පත් වුවහොත් ඔවුන් රටේ ගෙනි යන්නට හදන්නේ පැසිස්ට්වාදී පාලනයක් බව අපට පැහැදිලියි. ඒ බව ඔවුන්ගේ කියුම් වලින් පෙනී යනවා. ඒ නිසා මේ රටට ආදරය කරන ජනතාව මේ රටේ පාර්ලිමේන්තුව බේරා ගන්නට ඉදිරිපත් වී සිටින නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ අය පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. රට රැකෙන්නේ පාර්ලිමේන්තුව පැවතුනහොත් පමණයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලබා ගත්තේ වැට් අඩු කරනවා කියලා. බදු අඩු කරනවා කියලා. සහනාධාර දෙනවා කියලා .ඉන්ධන මිල අඩු කරනවා කියලා. නමුත් මේ වනතෙක් ඒවා කිසිවක් කෙළේ නැහැ. ඔහු රට හමුවේ තිබෙන සැබෑ ප්රශ්නය වන ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ නැහැ. . ඔහුට මා කියනවා රටේ සැබෑ තත්ත්වය වසන් කරලා සිල්ලර දේශපාලනයක් කිරීමෙන් වැඩක් නැහැ කියලා. එයින් සිදු වන්නේ රට තවත් අගාධයට ඇඳ වැටීමයි. ජාතික ජන බලවේගයට ජන්දය දුන් ජනතාවට මේ බව දැන් වැටහෙන්නට පටන් ගෙන තිබෙනවා.