තොප්පියක් පැලඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුල් වුණැයි කියමින් මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියාට වැද අද (11) සමාව ගත්හ.
දෙපාර්ශවයේ එකඟත්වය මත සිද්ධිය සමතයට පත්වූ අතර මාධ්‍යවේදී සරත් විමලරත්න මහතාට එරෙහිව කිසිදු ඉදිරි පියවරක් නොගැනීමටද ඔහුට එරෙහිව මහේත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමටද වගඋත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පොරොන්දු වුහ.
තොප්පියක් පැලඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුල් වුණැයි කියමින් රත්නපුර දිසාපති කාර්යාලයේ ආරච්චිවරයකු, රත්නපුර පොලිසියේ හිටපු සැරයන්වරයකු, කුරුවිට හමුදා කදවුරේ යුද හමුදා කෝප්රල්වරයකු ඇතුළු පිරිසක් මාධ්‍යවේදී සරත් විමලරත්න මහතාට පහරදී අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසියේ රඳවා ගැනීමෙන් ඔහුගේ මුපික අයිතිවාසිකම් කඩ කළැයි සඳහන් කරමින් පවරා ඇති පෙත්සම කැදූවු අවස්ථාවේදී නඩුව එසේ සමථයකට පත් විය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
මාධ්‍යවේදී සරත් විමලරත්න මහතා ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රත්නපුර හිටපු මහා දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය, රත්නපුර දිසාපති කාර්යාලයේ ආරච්චිවරයා වශයෙන් කටයුතු කළ අනුරාධ බණ්ඩාර රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා, රත්නපුර පොලිසියේ හිටපු කොස්තාපල් සමීර, කුරුවිට හමුදා කදවුරට අනුයුක්තව රාජකාරී කළ හමුදා කෝප්රල් සේනානායක ඇතුළු පිරිසක් නම් කර තිබිණී.
රත්නපුර මහ දිසාපති කාර්යාලයේ දැනුම් දීමකට අනුව ප්රවෘත්ති ආවරණය කිරීම සඳහා 2019 මැයි 29 වැනිදා තොප්පියක් පැළඳ තමා රත්නපුර මහ දිසාපති කාර්යාලයට පැමිණි බවත් සිය රාජකාරීය සඳහා දිසාපති කාර්යාලයට ඇතුල්වීමට උත්සාහ කිරීමේදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි රත්තපුර පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් ඊට විරෝධය පළ කළ බවත් සඳහන් කරන පෙත්සම්කරු පසුව තමා තොප්පිය ඉවත් කර දිසාපති කාරයාලට ඇතුල් වු බවත් සඳහන් කර ඇත.
දිසාපති කාරයාලට ඇතුල් වු පසු ඒ තුළදී තමා තොප්පිය පැළඳීම නිසා වගඋත්තරකාර නිලධාරීන් ඊට විරෝධය පළ කළ බවත් ඒ අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමකදී වගඋත්තරකාර පොලිස් නිලධාරියා සහ හමුදා නිලධාරියා තමාට පහර දුන් බවත් සඳහන් කරන පෙත්සම්කාර මාධ්‍යවේදි සරත් විමලරත්න මහතා පසුව වගඋත්තරකරුවන් තමා අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසියට රැගෙන ගොස් එදින සවස් වන තුරු ඔහු රඳවාගෙන සිට පසුව මුදා හළ බවද සඳහන් කර ඇත.
වගඋත්තරකරුවන්ගේ කටයුතු වලින් තම මූලික අයිතිවාසිකම් කඩවි ඇතැයි සඳහන් කර තමන්ට සුදුසු වන්දියක් ඔවුන්ගෙන් අයකර දෙන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කරුට එරෙහිව කිසිදු ඉදිරි පියවරක් නොගැනීමටද ඔහුට එරෙහිව මහේත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමටද වගඋත්තරකරුවන් පොරොන්දු වු අතර වගඋත්තරකරුවන්ට එරෙහිව පවරා ඇති මුලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර මාධ්‍යවේදී සරත් විමලරත්න මහතා පොරොන්දු විය.
දෙපාර්ශවයේ එකඟත්වය මත සිද්ධිය සමතයට පත්වූ අතර රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදී සරත් විමලරත්න මහතාට වැද සමාව ගත්හ.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ උපමාලි කොතලාවල මහත්මියගේ උපදෙස් මත නීතිඥ ඒ.ඩි.එස්. ගුණවර්ධන මහතා සමඟ නීතිඥ අමරනාත් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය.