වෛද්‍යවරුන්ට විදේශ ගත වීමට අවශ්‍යතා ඇති නම් ඒ සඳහා පවතින වෛද්‍ය හිඟයට ආදේශකයෙකු නිර්මාණය වන තෙක් රටට සේවය කරන ලෙස, වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිපති, පූජ්‍ය ඊතල් වැටුනු වැවේ ඥානතිලක නාහිමියන් ඉල්ලීමක් කර සිටියහ.
නායක හිමියන් මේ බව කියා සිටියේ අද (21දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් වෛද්‍යවරුන් නියෝජනය කරමින් රටේ පවතින සෞඛ්‍යය ගැටලු හා වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් පිළිබඳව නායක හිමිවරුන් දැනුවත් කරමින් ඤාණතිලක නායක හිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීය.
"රටේ ජනතාවගේ දිවි බේරා ගැනීමට කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර ගොස් තිබෙනවා. රෝහල් තුළ ඇතිවන වෛද්‍යවරුන්ගේ හිඟයට ආදේශකයින් නොමැතිකමින් රෝගීන් විශාල දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා. මේ ආකාරයට වෛද්‍යවරු විදේශගත වීම වලකාලීමට රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. "
එම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ශෂික විතානගේ මහතා ඇතුළු වෛද්‍යවරු පිරිසක් එක්ව සිටියහ.