ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ 2020 වර්ෂයේදී පළාත් සභා අරමුදල් මගින් ක්‍රියාත්මක වූ ජල සැපයුම් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 32 ක් 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට අතරමග නතරවීම නිසා ඒ සඳහා වැය කරන ලද රුපියල් කෝටි 381ක මුදලක් රජයට අහිමි වී ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 22 දින නිකුත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.
ජාතික විගණන කාර්යාලය සඳහන් කරන පරිදි මෙම ව්‍යාපෘති අතර මග නතර වී ඇත්තේ ඇතැම් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා පළාත් සභා ආවරණය වන සමහර ප්‍රදේශවල ජල සම්පාදන පහසුකම් නොමැතිවීම, එම ස්ථානවලට ගමන් කිරීම සඳහා ප්‍රවේශ මාර්ග නොමැතිවීම, ඉදිකිරීම් කරගෙන යන ගොඩනැගිලි අනුමත සැලසුම්වලට අනුකූල නොවීම නිසා බවද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.
වෙළෙඳපොළවල් ඉදිකිරීම, සත්ත්ව පාලන මධ්‍යස්ථාන, සමෘද්ධි ව්‍යාපෘති සඳහා ගොඩනැගිලි පවත්වා ගෙන යන ස්ථාන ආරම්භ කිරීම ප්‍රජාශාලා ඉදිකිරීම යන ආදී ස්ථාන ආරම්භ කර ඇත්තේ මහජන ඉල්ලීම්වලින් තොරව බවද අනාවරණය වේ.
ඇතැම් ව්‍යාපෘති ආරම්භ කර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනයකින්ද තොරවය. එසේම පළාත් සභාවල අනුමැතියෙන් ආරම්භ කරන ලද ජල ටැංකි විශාල ප්‍රමාණයක් ඉදිකිරීම් කර ඇත්තේ බිම් මට්ටම සැලකිල්ලට නොගෙන බවත් විගණනය මගින් අනාවරණය කර ඇත.
එසේම ජලය පිරිසුදු කිරීමේ යන්ත්‍රය යන්ත්‍රවල ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති වීම නිසා ජල ව්‍යාපෘති 25 ක් පමණ අතරමඟ නතර වී ඇත. මෙම ඉදිකිරීම් සම්බන්ධව නතර කරන ලද සෑම ව්‍යාපෘතියකම දකින්නට ලැබෙන පොදු ලක්ෂණය වනුයේ ඒවාට නිසි සැලසුමක් නොමැති වීම බවද විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත.