මොනරාගල මදුරුකැටිය ප්‍රදේශයේ පිහිටි සමාධි ළමා නිවාසයේ නේවාසිකව සිටින දැරියන් තිදෙනෙකු ඉකුත් (15) වෙනිදා පාසල් ගොස් ළමා නිවාසයට නොපැමිණ බියගම නිදහස් වෙළෙඳ කලාපයේ එක් දැරියකගේ මවගේ යෙහෙළියකගේ නිවසක සිටියදී 119 පොලිස් හදිසි දුරකථන ඇමතුමට ලද තොරතුරකට අනුව වැලිවේරිය පොලීසිය මඟින් සොයාගෙන තිබේ.
අවුරුදු 14,15 සහ 17 යන වියහි පසුවන මෙම දැරියන් තිදෙනා මහියංගනය,බලංගොඩ සහ කතරගම ප්‍රදේශ වල පදිංචිකාරියන් වන අතර මොනරාගල මදුරුකැටිය සමාධි ළමා නිවාසයේ නේවාසිකව සිටිති.
එසේ නේවාසිකව සිටි දැරියන් තිදෙනා 15 වෙනිදා ළමා නිවාසය ආසන්නයේ තිබෙන පාසලට ගොස් ළමා නිවාසයට නොපැමිණ බස්රථයකින් වැල්ලවායටත් වැල්ලවායෙන් තණමල්විලටත් ගොස් තණමල්විල සිට කොළඹ බසයකින් කඩුවෙල දක්වා ගොස් බියගම නිදහස් වෙළෙඳකලාපයේ සේවයකරන එක් මවකගේ නවාතැන්පොළකට ගොස් ඇත.
පසුව මව ඔවුන් තිදෙනා ඇයගේ යහෙළියකගේ නිවසක නතරකර තිබේ.
දැරියන් තිදෙනා පොලීසියට පැමිණ පවසා ඇත්තේ නිවාසයේ පාලිකාවගෙන් ළමා නිවාසයේ සිටින දැරියන්ට නිතර පහරදී හිංසාපීඩා කරන නිසා ඒවා ඉවසා ගත නොහැකිව ඔවුන් තිදෙනා මෙලෙස පැමිණි බවයි.
දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට වැලිවේරිය පොලීසිය කටයුතුයොදා ඇති අතර
මොනරාගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය මඟින්ද විශේෂ පරීක්ෂණයක් පවත්වීමට නියමිතය.
මොනරාගල සුමනසිරි ගුණතිලක