මෙම වසරේ මේ දක්වා ලාදුරු රෝගීන් 1500 ක් පමණ වාර්තා වී ඇති බවත්, එසේම වර්ෂයේ පළමු කාර්තුවේ රෝගීන් වාර්තාවීමේ අඩුවක් දැකගන්නට ලැබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.
රෝගය මර්දනය සඳහා ගන්නා ලද විවිධ ක්‍රියාමාර්ග මීට හේතු වී ඇති බවද සඳහන් කළ ඒ මහතා රෝගය පිළිබඳ සැකසහිත විශාල රෝගීන් ප්‍රමාණයක් සායන සඳහා පැමිණි බව ද පැවැසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන සායන සහ රෝහල් සායන හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ගුණාත්මක ඉහළ ප්‍රතිකාර මාස 06 ක්, අවුරුද්දක් වශයෙන් ලබාගත හැකි බවත්, එම කාලය තුළ නිසි පරිදි ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවත්ය.
මේ අතර ලාදුරු රෝගය සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා නව ක්‍රමවේද ඔස්සේ සමාජගත කිරිමට ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සහ එලායන්ස් ඩිවලෝප්මන්ට් ට්‍රස්ටි (ADT) ආයතනය එක්ව A2P (ACT2PREVENT CAMPAIGN 2024) නමින් ව්‍යාපෘතියක් දියත් කිරීමේ සමාරම්භක වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (14දා) පැවැත්විණ.
A2P ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය (Anti – Leprosy Campaign) සහ ADT (Alliance Development Trust) ආයතනය එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහනකි. ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය ලංකාවේ ලාදුරු වැළැක්වීම සම්බන්ධයෙන් වන කේන්ද්‍රගත ආයතනය වන අතර, ADT ආයතනය මේ සඳහා අත්වැල් බැඳගත් රාජ්‍ය නොවන ආයතනයකි.
සමාජ මාධ්‍ය හරහා නව ක්‍රමවේද ඔස්සේ නිවැරදි තොරතුරු ජනගත කිරීම මගින් රෝගය සම්බන්ධ නිවැරදි දත්ත, තොරතුරු සහ දැනුම්වත්භාවය ලබාදීම මෙහි මූලික අරමුණ වන අතර, රෝගය සම්බන්ධව පවතින වැරදි මත නිවැරදි කර ඉතා කඩිනමින් සැඟවී සිටින රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන අතර ම රෝගීන් සමාජයෙන් කොන් කිරීම අවම කිරීමෙන් ඔවුන්ට යහපත් මානසික වටපිටාවක් නිර්මාණය කිරීම ද තවත් ඉලක්කයකි.