2024 වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා විදේශ රැකියා ලබාදීමේදී සිදුව ඇති අක්රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 2155ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වංචා විමර්ශන අංශය වෙත ලැබී ඇති බවත්, එයින් පැමිණිලි 1051ක් සඳහා අධිකරණයේ මේ වනවිටද නඩු පවරා ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ රැකියා සඳහා ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ යොමු වීමේ වැඩි ප්රවණතාවක් මේ දිනවල පෙන්නුම් කරන බවත්, එයට සමගාමීව ලැබෙන පැමිණිලි සංඛ්යාවේද වැඩි වීමක් පෙන්නුම් කරන බවත් එම කාර්යාංශය පවසයි.නීතිවිරෝධි අන්දමින් පවත්වාගෙන ගිය විදේශ රැකියා ආයතන 11 ක් වැටලීමට පියවර ගෙන ඇත. වංචා කරුවන් 65දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද වංචා විමර්ශන අංශය පියවර ගෙන තිබේ.
2024 මුල් පස් මාසයෙහි කාර්යාංශයට ලැබුණු පැමිණිලි අනුව වින්දිතයන් සඳහා රු. හය කෝටි පනස් එක් ලක්ෂ තුන් දහස් හයසිය විසි හයක වන්දි මුදල් ලබාදීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසයි.
විදේශ රැකියාවක් ලබා ගැනීම සඳහා යම් ආයතනයකට මුදල් හෝ ගමන් බලපත්රය ලබා දීමට පෙර එම ආයතනය ලියාපදිංචි ආයතනයක්ද, එම මොහොතේ එම ආයතනයට රැකියා සඳහා ඉල්ලීම් ලැබී ඇත්ද යන්නත් පරීක්ෂා කර බලන ලෙස කාර්යාංශය විදෙස් රැකියා අපේක්ෂිත පිරිසගෙන් ඉල්ලා සිටියි.
මහනුවර - මොහොමඩ් ආසික්