මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා විදුලිය විසන්ධි කිරීම් හයලක්ෂ විසි අටදහස් දෙසිය අසූහයක් (628286ක්) සිදුවී තිබෙන බව
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය වසරෙහිදී විදුලිය විසන්ධි කිරීම් නවලක්ෂ හැත්තෑදහස් නවසිය තිස්තුනක් (970933ක්) සිදුව තිබෙන බවත් විදුලි විසන්ධි කිරීම සිදු කළ පසු නැවත විදුලිය ලබා ගැනීමට රු.500ක මුදලක් ගෙවීමට සිදුවන බවත් එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේය.
විදුලි බිල අධික වීම නිසා බොහෝ පිරිසකට නිසි කාලයෙහිදී විදුලි බිල ගෙවා ගත නොහැකි වන බවත් මේ නිසා විදුලි බිල 30%කින් අඩු කරන ලෙස 17දා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.
ලබන වසරට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් මහජනතාවගෙන් ලිඛිතව හා වාචිකව අදහස් ලබා ගැනීම අනුව ලිඛිතව හා වාචිකව තම සංගමය අදාළ ඉල්ලීම් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා විදුලිය විසන්ධි කිරීම් 628286ක ප්‍රමාණය සලකා බැලීමේදී නිවාස 505949ක,කර්මාන්තශාලා 8579ක,ආගමික ස්ථාන 2090ක,හෝටල් 39ක,රාජ්‍ය අංශයේ 359ක හා වෙනත්(කඩ සාප්පු) 111276ක විදුලිය විසන්ධි කර තිබෙන බවද හෙතෙම පැවසීය.
ගිය වසරේ එක් දිනකට විදුලිය විසන්ධි කිරීම්හි සාමාන්‍ය අගය 2660ක් වු බවත් මේ වසරේ පළමු මාස 06 තුළදී දිනකට විදුලිය විසන්ධි වීමේ සාමාන්‍ය අගය 3443ක් බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය ආණ්ඩු සමයේදී විදුලිබිල අධික ලෙස ඉහළ දමා විදුලිබල මණ්ඩලය අධික ලෙස ලාභ ලබා ඇතත් විදුලිබිල ගෙවා ගැනීමට නොහැකිව ජනතාව දැඩි ලෙස අසරණ වි සිටින බව ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා ජනවාරි මාසයේ සිට විදුලි බිල සියයට තිහකින් අඩු කර ජනතාවට සහන ලබා දිය යුතු බව ඔහු සඳහන් කළේය.