- ආර්ථිකය කඩා වැටුණ පසු ලෝකයේ කිසිම රටක් බලාපොරොත්තු වුණාට වඩා වේගයෙන් අපේ රටේ ආර්ථිකය නැවත ගොඩ ගත්තා....
- මෙය ඉදිරියට ගෙන යාමට නම් ජනතා කැමැත්ත ලැබිය යුතුයි...
- සංවර්ධනයට රජය මුදල් වෙන් කර ඇත්තේ ගත් ණය වලින් හෝ මුදල් මුද්‍රණය කිරීමෙන් තොරවයි...
- සියළුම මුදල් රජයේ ප්රතිපාදනයි...
- නිදහසින් පසු 75 වසර තුළ රටේ භෞතික සංවර්ධනයේ සුවිශාල සංවර්ධනයක්....
- එහි ගෞරවය පාලකයන්ට මෙන්ම සියලුම දේශපාලනඥයන්ටත් ලැබිය යුතුයි...
ආර්ථිකමය වශයෙන් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා වේගයෙන් ඉතා කෙටි කාලයකින් දෙපයින් නැගී සිටි බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මුදල් මුද්‍රණය කිරීමකින් තොරව ණය ලබා ගැනීමකින් තොරව නැවතත් රට සංවර්ධනය සඳහා රජයේ ප්‍රතිපාදන ලබාදීමට රජය කටයුතු කර ඇති බවයි.
"අපිට පුළුවන් මේ රට නැවත ශක්තිමත්ව කළමනාකරණය කරන්න. ජනතාවගේ කැමැත්තෙන්" යැයිද ඇමතිවරයා මෙහිදී කීවේය. පටු වාසි තකා ඇතැමුන් 75 වසරක ශාපය පිළිබඳ කතා කළද නිදහස ලබා ගත ගත ගත වූ 75 වසර තුළ රට භෞතික වශයෙන් සංවර්ධනය වූ බවත් එහි ගෞරවය සියලුම දේශපාලනඥයන්ටද හිමි විය යුතු බව ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව කියා සිටියේ ගම්පහ කලගෙඩිහේන ප්‍රාථමික සත්කාර ඒකකය ඊයේ (02) දින ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිණි. මෙම ප්‍රථාමික සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කෙරුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
"සැමට සුවය හා රැකවරණය" දැක්ම පෙරදැරිව බස්නාහිර පළාත් අරමුදලින් රුපියල් ලක්ෂ 500ක පළාත් පාලන ප්‍රතිපාදන යොදවා මෙම ප්‍රාථමික සත්කාර ඒකකය ඉදිකෙරුණි. ඒ බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුවයි.
“ මේ රජයට මුදල් තිබුණේ නෑ. නැවත අපි මුදල් ආයෝජනය කරනවා 2024 දී. ඒ මුදල්වල වෙනසක් තිබෙනවා. අපි ආයෝජනය කළේ ගත්තු ණය වලින්. හැබැයි අපි 2024 දී ආයෝජනය කරන්නේ රජය ලබා ගත්ත රජයේ ප්‍රතිපාදන වලින්.
මේ වසරේදී අපි මුදල් මුද්‍රණය කරලා නෑ. මුදල් මුද්‍රණය කරන්නේ නැතිව සංවර්ධනය ආරම්භ කරන්න. වැටිලා තිබුණ ආර්ථිකය ක්රමාණූකූළව ගොඩනැගෙනවා. ඒ ආර්ථිකය නැවත ගොඩනැගෙන්නේ ලෝකයේ කිසිම රටක් බලාපොරොත්තු වුණාට වඩා වේගයෙන්. ග්‍රිසිය, වෙනිසියුලාව, ඉක්වදෝරය, වැටුණා ඔවුන් තාමත් දණ ගානවා. ඔවුන් ඉතාම අපහසුවෙන් ජීවත් වෙන්නේ. අපේ වාසනාවට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදයෙන් පුණ්‍ය භූමියේ බල මහිමයෙන් මේ රට ඉතාම ශක්තිමත්ව ඉතාම කෙටි කාලයක් තුළ දෙපයින් නැගී සිටගෙන තිබෙනවා. ඒක ශ්‍රී ලාංකික ජනතාවගේ ශක්තිය හා වාසනාවයි. අපිට පුළුවන් නැවත මේ රට ශක්තිමත්ව කළමනාකරණය කරන්න. ඒ කලමනාකරණය වෙන්නේ ජනතා කැමැත්තෙන්. ” යනුවෙන්ද පැවසීය.