මෙම දිනවල ළමයින් අතර උණ සමග කැස්ස හෙම්බිරිසා තත්ත්වයන් වැඩිවී ඇතැයිද, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ද වැඩි වීමක් දක්නට ඇතැයිද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ බව පවසා ඇත්තේ රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.
ශීත රටවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන බවද, මෙය අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, ගර්භණී මාතාවන්, ශ්වසන රෝග නිදන්ගතව පවතින පුද්ගලයන් සහ ප්රතිශක්තීකරණය අඩු අයට තරමක් භයානක විය හැකි බවද ඒ මහතා අවධාරණය කළේය.
ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම වළක්වා ගැනීමට රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණයක් පැළදීමද රෝග ලක්ෂණ පහළවී ඇති දරුවන් පෙර පාසලට, පාසලට, දිවා සුරැකුම් මධ්‍යස්ථානයට නොයවන ලෙසද මෙය ලේසියෙන් තවත් කෙනෙකුට බෝවිය හැකි බවද පැවසුවේය.
ඉහත සදහන් කළ පුද්ගල කණ්ඩායම්වලට බෝ වුණහොත් මෙය භයානක විය හැකි බවද, නියුමෝනියා තත්ත්වයන් ඇතිවිය හැකි අතර දැඩි සත්කාර ඒකක උවමනා විය හැකි බවද සඳහන් කළේය. රෝගය පිළිබඳ ඉක්මණින් දැනගතහොත් පැරසිටමෝල් මාත්‍රාව ලබාදීම සිදුකළ යුතු යැයිද ලා උණු වතුරෙන් ඇග සෝදා උණ අඩුකර ගැනීමට බලන ලෙසද පැවසූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මෙම දරුවන්ට විවේකය ලබාදීම වැදගත් මෙන්ම ස්වභාවික දියර ආහාර ලබාදෙන ලෙසද පැවසුවේය.
මෙම රෝගයට පසුකාලීනව ළමයින්ට ටික කලක් කැස්ස පැවතිය හැකි අතර ළමා හතිය වැඩිවිය හැකි බැවින් ළමා හතිය සෑදෙන හේතු කාරක අවම කරගන්නා ලෙසද පැවසුවේය.