මීරිහානේ විරෝධතාවට එක්වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරු 400කට අධික සංඛ්‍යාවක් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (01දා) එක්ව සිටියහ.
මෙසේ පෙනී සිටි නීතිඥවරුන් අතර නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා , එහි හිටපු සභාපති ජනාධිපති නීතිඥ කාලංග ඉන්දතිස්ස මහතාා ඇතුළු ජනාධිපති නීතිඥවරු 8 දෙනෙකුද විය.
මෙම නීතිඥයින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ගාස්තු අයකිරීමකින් තොරව වෙයි. එසේම පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම වෙනුවෙන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී සැකකරුවන්ව අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ සැකකරුවන් පිරිසක් අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා වෙයි.
මෙම විභාගයේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු රාත්‍රී 11.00ට ආසන්න වන තෙක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
සැකකරුවන් 27ක් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන්ගෙන් 21ක් රුපියල් 100000ක පුද්ගලික ඇප මත නිදහස් කළ අතර සැකකරුවන් 06ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 53ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය. රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ සැකකරුවන් ලබන සඳුදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී සාක්ෂිකරුවන් ඉදිරිපත් නොවුණ හොත් මෙම සැකකරුවන් 06 දෙනාද ඇප මත නිදහස් කරන බව අධිකරණය දැනුම් දුන්නේය.
බුද්ධිමාල් රුබේරු