මියන්මාරයේ සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතුරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් වන බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා 06/15 දින සවස කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
ඒ මහතා එසේ පැවසූවේ මියන්මාරයේ සහ තායිලන්තයේ සංචාරයක් නිම කර කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියදීය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාරක බාලසූරිය අමාත්‍යවරයා " අපිට යම්කිසි විශ්වාසයක් තියෙනවා , මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් 49 දෙනා අතුරින් කීප දෙනෙකු ඉදිරියේ දී මුදා ගැනීමට හැකි වේ යැයි " ද පැවසීය .
අමාත්‍යවරයා මියන්මාරයේ සංචාරයට අමතරව තායිලන්තයේ ද සංචාරයක නිරත වෙමින් එම රටවල නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් , විදේශ කටයුතු අමාත්‍යවරුන් , අධිකරණ සහ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කීපයක් ද හමු වී සාකච්ඡා කළ අතර එහිදී මියන්මාරයේ මෙම සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටින බවත් ඔවුන් අතරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් බවත් තමන්ට අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද පැවසීය .
අමාත්‍ය තාරක බාලසූරිය මහතා 06/15 දින පස්වරු 03.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය .