සිද්ධිය වූ දිනයේ නාවලපිටිය රෝහලේ තිබුණු සායනික පුහුණුව හමාර කොට ගල්පොත්ත නමැති ස්ථානයේ නාන්න යමු කියල අප දොළොස් දෙනකු පමණ පිරිසක් කතා වී එහි ගියා . අප පස් දෙනෙකු පමණ එහි ගල්පොත්තක් වැනි ස්ථානයක කකුල් තියාගෙන සිටින විට එක්වරම සමබරතාවය ගිලිහී ගොස් අප ජලයේ ගිලුනා . මම එහි පාරුවක් අල්ලාගෙන සිටියත් ඉසුරු පේන්න හිටියේ නැහැ . අප කෑ ගසා අවටින් උදව් ඉල්ලා සිටියා . ඒ අය වතුරේ කිමිදී ගොස් විනාඩි විස්සකට පසු ඉසුරුව ගොඩට ගෙනාවා .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් කණ්ඩායමක් නවලපිටිය රෝහලේ සායනික පුහුණුවකට ගොස් එය නිමාවීමෙන් පසු මහවැලි ගඟේ අතු ගංගාවක් වූ ගල්පොත්ත නමැති ස්ථානයේ දිය නෑමට ගොස් ජලයේ ගිලි අසාධ්‍ය තත්වයෙන් පෙරදෙණිය ශික්ෂණ රෝහලලේ දින දහයකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට මියගිය ඉසුරු මදුශාන් තිලකරත්න (24) නැමැති සිසුවා සමඟ දියේ ගිලි බේරාගත් පී.එච්. ලසිත් ප්‍රමෝද්‍ය වෛද්‍ය සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් ඒ බව අවධාරණය කළේය .
වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු මෙසේද කීය .
අපිත් දෙන්නම පහේ පන්තියේ සිට කිංස්වුඩ් විදුහලේ එකට ඉගෙන ගත්තේ . පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අප දෙදෙනා ඇතුළු වුණෙත් එකම වසරේයි . නාවලපිටිය රෝහලේ සායනික පුහුණුවට යොමු කළ සිසුන් කණ්ඩායමට අප දෙදෙනත් ඇතුළත් වුණා .
අප දෙදෙනාම වෛද්‍ය පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියා . නාවලපිටිය රෝහලේ සති තුනක සායනික පුහුණුවක් අපට තිබුණා . සිද්ධිය වූ දින වන විට සති දෙකක පුහුණු කාලයක් නිමා කොට තිබුණු අතර එදින දහවල් 12.00 ට පමණ පුහුණුව නිමා වුණා .
දිවා ආහාරය ගැනීමෙන් පසු අපි දොළොස් දෙනෙක් ත්‍රීවීල් වලින් ගල්පොත්ත නමැති ස්ථානයට ගියා . නාවලපිටිය රෝහලේ සායනික පුහුණුවට එන වෛද්‍ය සිසුන් කාලයක සිට සාම්ප්‍රදායිකව මෙම ස්ථානයේ දියනෑම සිදුකොට තිබෙනවා .
මටයි ඉසුරුටයි දෙන්නටම පීනන්න බැහැ . අප ජලයට වැටෙන විට මම පාරුවක එල්ලුණත් ඉසුරුට එහෙම කරගන්න බැරි වුණා . මම පාරුවේ එල්ලි වතුරෙන් උඩට හිස ඔසවා බැලුවත් ඉසුරු පේන්න හිටියේ නැහැ . අවට සිටි අය කීප දෙනෙක් ඇවිත් වතුරට පැනලා ඉසුරු හොයන්න ගත්තා . අපිත් එක්ක ඇවිත් හිටපු වෛද්‍යවරිය දුරකථන ඇමතුමදී තවත් වෛද්‍යවරයෙක් ඒ ස්ථානයට ගෙන්වා ගත්තා . විනාඩි විස්සකට විතර පසු ඉසුරුව සොයාගන්න පුළුවන් වුණා . ඉසුරුව ඉක්මනින් ගොඩට ගෙන මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදී වෛද්‍යවරයාගේ මෝටර් රථයෙන්ම නාවලපිටිය රෝහලට ඉසිරුව අරන් ගියා .
පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියා .
මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අමල් වැදිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි නේරංජලා කුලසේකර මහත්මිය විසින් සිදු කරනු ලැබූ අතර දියේ ගිලීම නිසා හුස්ම හිරවීමෙන් මොළයට ඔක්සිජන් සැපයුම නතර වී සිදුව තිබෙන මරණයක් බවට තීරණය කළේය .
පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වෛද්‍ය වාර්තා සහ සාක්ෂි සැලකිල්ලට ගනිමින් මෙය දියේ ගිලීම නිසා හුස්ම සිරවීමෙන් මොළයට ඔක්සිජන් සැපයම නතර වී සිදුවූ හදිසි මරණයක් බවට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා තීරණය කළේය .
ෂේන් සෙනෙවිරත්න