2020 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායම, මැයි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති බවත් සංශෝධිත ප්රක්ෂේපණවලට අනුව එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරන බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
කොවිඩ්-19 වසංගත තත්ත්වයෙහි ආර්ථික බලපෑම සහ ශ්‍රී ලංකාවට එයින් එල්ල වන ඉල්ලීම් හා අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 'අද දෙරණ' සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා මෙම ප්‍රකාශය සිදුකළේය.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විශේෂයෙන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අපනයන සඳහා අහිමි වූ වෙළඳපල, යථා තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට සහ නැවත අත්පත් කර ගනිමින් නව අවස්ථා සක්‍රීය කර ශ්‍රී ලාංකික අපනයන කෙරෙහි ඇති කර ඇති බලපෑම අවම කිරීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රජයේ අනෙකුත් ප්‍රධාන ආර්ථික නියෝජිතායතන සහ පෞද්ගලික අංශය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව පුළුල් ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ගෙන ඇති බවද ඔහු පැවැසීය.
විකාශනය වෙමින් පවතින ගෝලීය කොවිඩ්-19 තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සහ රබර් මත පදනම් වූ නව නිෂ්පාදනයන්ට අදාළ වූ වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන කටයුතු වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.
(මුහුණු ආවරණ සදහා නව වෙළඳපොළ 12 ක් ද, ආරක්ෂිත ගවුම් සදහා නව වෙළඳපොළ 17 ක් ද, රබර් අත්වැසුම් සදහා නව වෙළඳපොළ 12ක් ද , සනීපාරක්ෂක ද්‍රව්‍ය සදහා නව වෙළඳපොළ 12ක් ද වශයෙන් මේ වන විට අපනයනයන් ක්‍රියාත්මක වේ). අභියෝගාත්මක තත්වයන් යටතේ ශ්‍රී ලංකා තේ මෙට්‍රික් ටොන් 344 ක් තුර්කියට ද මෙට්‍රික් ටොන් 220 ක් ඊජිප්තුවට ද අපනයනය කර ඇති අතර, ශීත කළ ආහාර මෙට්‍රික් ටොන් 30 ක් ඕමානයට අපනයනය කර ඇත.
ඉදිරි කාලය තුළ දී ඉල්ලුම වැඩිවිය හැකි අපනයන ක්ෂේත්‍ර 15 ක් මේ වන විට හඳුනාගෙන තිබේ. වර්තමානයේ සමස්ත ලෝකයේම පවතින අවහිරතා, අභියෝග සහ අවස්ථාවන් සැලකිල්ලට ගනිමින්, පොල්, සැකසූ ආහාර, මුහුදු ආහාර, කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික් හා විදුලි උපකරණ, සැපයුම් සේවා, මුද්‍රණ කටයුතු, පිඟන් සහ පෝසිලේන් භාණ්ඩ, ආයුර්වේද සහ ශාකසාර, ශරීර සුවතා නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, සමුද්‍ර හා අක්වෙරළ ඉංජිනේරු කටයුතු, ඉදිකිරීම් සහ බෝට්ටු හා නැව් තැනීම ආදී වූ ක්ෂේත්රයන් ඉලක්ක කරගත් පුළුල් ක්‍රියාමාර්ග මේ අනුව සැලසුම් කෙරෙමින් පවතී.