මැති ඇමති වැටුප් වැඩි කිරීමට තීරණය කළේ සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් බවට ඉරිදා පුවත්පත්වල පළ වී තිබුණ ද ඒ කවර යෝජනාවක් වුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවත්, තමා කිසිසේත් එවැන්නකට ඉඩ නොතබන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඉකුත් වසර තුන තුළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට විටින් විට කටයුතු කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ අවස්ථාවලදී ජනාධිපතිවරයා හැටියට තමාගේ වැටුප වැඩි කිරීමට පැමිණි යෝජනා තමා තරයේ ප්රතික්ෂේප කළ බව ද සඳහන් කළේය.
ජීවන වියදම ඉහළ යෑම ඇතුළු ආර්ථික ගැටලු බොහෝමයක් විසඳා ගැනීමට උත්සාහ ගනිමින් සිටින මේ අවස්ථාව මැති ඇමති වැටුප් වැඩි කිරීමට කොහෙත්ම සුදුසු නොවන බව ද ඔහු පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ පිබිදෙමු පොළොන්නරුව දිස්ත්රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ පිබිදෙමු පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (04දා) පස්වරුවේ එක් වෙමිනි.
