මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ජනපති සහ රජය කඩිනමින් තීරණයක් ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි .
රටේ දරුණු වසංගතයක් පවතින මේ අවස්ථාවේදී තීරණය කළ යුත්තේ දේශපාලනික වශයෙන් ගොඩ නැගීම පිළිබඳව ද නැතිනම් රටේ ජනතාව ගොඩනගා ගනිමින් ඉදිරියට යෑම පිළිබඳව දැයි තීරණය කළ යුතු බව ද විජයවර්ධන මහතා කියා සිටියි.
"ජනාධිපති කාර්යාලය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් ඉදිරිපත් කර තිබුණා. ඉදිරි මහ මැතිවරණය පිළිබඳව දිනය තීරණය කරන්නට ජනාධිපතිට වගකීමක් නැති බවත් එහි වගකීම පැවරෙන්නේ මැතිරණ කොමසාරිස්වරයාට බවත් එම ලිපියේ සඳහන්ව තිබුණා.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳව අසන්නට ජනාධිපතිට අවශ්‍යතාවක් නැතැයිද ඒ ලිපියේ සඳහන් වුණා. බෝලය එහාට මෙහාට පාස් කරන්නේ නැතිව ව්‍යවස්ථාව අනුව මහ මැතිවරණය පිළිබඳව තීරණයක් ගන්න ජනපතිට වගකීමක් තිබෙනවා.
මේ වසන්ගත තත්ත්වය අනුව අපට මහ මැතිවරණයට මුහුණ දිය හැකිද යන ප්රශ්නය රට හමුවේ තිබෙනවා. ජනපති ඒ ගැන සිතා හරි තීරණයක් ගනු ඇතැයි අප සිතනවා. එය මැතිවරණ කොමසාරිස්ට පැවරීම සුදුසු යැයි අප සිතන්නේ නැහැ.
රටේ පවතින වාතාවරණයත් සමඟ ඡන්දයක් පවත්වනවාද යන කාරණය තීරණය කළ යුත්තේ ජනපති සහ රජයයි. එතුමන්ලා හරි තීරණයක් ගනු ඇතැයි අප සිතනවා.
මහමැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් කෝටි 500 ක් වැනි මුදලක් වියදම් කරනනට වෙනවා.ඒ මුදල්ද දරන්නට සිදුවී ඇත්තේ රටේ ජනතාවටයි.මේ අවස්ථාවේදී ආණ්ඩුව දේශපාලන වශයෙන් ගොඩ නැගෙනවාද නැතිනම් රටේ ජනතාව ගොඩනගාගෙන ඉදිරියට යනවාද කියා තීරණය කළ යුතුයි”