වත්මන් ආණ්ඩුව අතින් බරපතල වරදක් සිදු නොවුව හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන එකසිය විස්සක පමණ ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව ඔවුන් සතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (2024 ඔක්තෝම්බර් 03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
පාර්ලිමේන්තු මැතිවරණය මාලිමාව ජය ගන්නේ මෙහෙමයි
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විපක්ෂයේ සමහර පක්ෂ අගමැති අපේක්ෂකයින් පවා නම් කරලා. ඒ නම් කිරීම හරහා ඔවුන් පෙන්වන්නේ ලංකාවේ දේශපාලනය පිළිබඳ විශේෂයෙන් මැතිවරණ පිළිබඳ තිබෙන අනවබෝධයයි. එවැනි පක්ෂ ආණ්ඩු කරන්න තබා විපක්ෂය බාර දෙන්නවත් සුදුසු නෑ. මීට පෙර හතර වතාවක් ජනපතිවරණය පවත්වා මාස 9ක් ඇතුලත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා තිබෙනවා. ඒ තමයි 1989, 2010, 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණ. සෑම අවස්ථාවකම ජනපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය විසින් පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා තිබෙනවා. 1989 සහ 2010 පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන්නේ මෙවර වගේම ජනපතිවරණය අවසන් වෙලා මාස තුනක් ඇතුලත. එවිට බලපෑම වැඩියි.
මෙවර ජනපතිවරණයේ දී ලැබුණු ඡන්ද ඒ අයුරින්ම ලැබුණත් මාලිමාව මන්ත්‍රි ධූර 105ක් තිබෙනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය ලැබූ ඡන්ද ඒ අයුරින්ම ලැබෙනවා. නැතිනම් 5%ක් පමණ අඩු වෙනවා. නමුත් ප්‍රධාන විපක්ෂයේ අය පරාජයෙන් පසු මානසිකව වැටිලා පාර්ලිමේන්තු මැතිවරණයට උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ නිසා පරාජිත පක්ෂයේ ඡන්ද 1989 දී 22%ක් 2010 දී 33%ක් 2015 දී 18%ක් 2020 දී 42%ක් අඩු වෙලා තිබෙනවා. මේ ප්‍රතිශත හදන කොට ජනපතිවරණයේ දී සහය දීලා පාර්ලිමේන්තු මැතිවරණයේ දී වෙනම තරග කළ පක්ෂ ලැබූ ඡන්දත් ගලපලා හදලා තිබෙන්නේ කියන එක විශේෂයෙන් කියන්න ඕනි.
ඒ නිසා පරාජිත ප්‍රධාන පක්ෂ දෙකේම ඡන්ද 25% බැගින් අඩු වේවි කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්. පරාජිත පක්ෂ දෙකේම ඡන්ද අඩු වන විට ජයග්රාහි පක්ෂයේ ඡන්ද වැඩි නොවුණත් ප්‍රතිශතය ඉහළ යනවා. ඒ නිසා ආණ්ඩුව විසින් බරපතල දේශපාලන වැරැද්දක් නොකලොත් පහසුවෙන්ම මන්ත්‍රි ධූර 120කට යන්න මාලිමාවට පුළුවන්.
ඒ වගේම අනිවාර්රයෙන්ම ජනපතිවරණයේ දී දුන් පොරොන්දු ඉටු කරන්න නම් පාර්ලිමේන්තු බලයත් මාලිමාවට යන්න ඕනි. නැතිනම් ජනපතිගේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ සහයෝගය නොතිබුණු නිසා කරන්න බැරි වුණා කියලා කියන්න අවස්ථාව ලැබෙනවා. ජනපති සහ අගමැති පක්ෂ දෙකකින් වුණාම සිද්ධ වෙන්නේ රට අස්ථාවර වෙන එක විතරයි.
මාලිමාවට තුනෙන් දෙකක් ඉල්ලන්නේ ජනපති අනුරගේ හතුරන්
මාලිමාවේ සමහර නායකයින් පාර්ලිමේන්තු මැතිවරණයේ දී මාලිමාවට තුනෙන් දෙකේ බලයක් ඉල්ලනවා. එහෙම ඉල්ලන්නේ එක්කෝ තුනෙන් දෙකේ ගිනි බෝලයෙන් ජනපතිත් ලංකාවත් දෙකම දැවුනු ඉතිහාසය නොදන්නා අය. එහෙම නැතිනම් ජනපති අනුර මැතිතුමා සමග වෛරයක් පිරිමහන අය. ලංකා ඉතිහාසය පුරා තුනෙන් දෙකේ බලයක් ලැබුණු ආණ්ඩු රටත් විනාශ කරලා තමන්වත් විනාශ කරගෙන තිබෙනවා.
ලංකාවේ මුලින්ම තුනෙන් දෙකේ බලයක් ලැබුණේ 1970 දී බණ්ඩාරනායක මැතිණියට. එහි ප්‍රතිඵලයක් ලෙස ඊ ළඟ ඡන්දයේ දී ශ්‍රිලනිපය ආසන 8කට පල්ලම් බැස්සා විතරක් නොවේ නැවත බලයට එන්න වසර 17ක් ගියා. ඊ ළඟට තුනෙන් දෙකේ බලයක් ලැබුණේ 1977 දී ජේ ආර් ජයවර්ධන මැතිතුමාට. ප්‍රතිඵලය වුණේ ඒ ආණ්ඩුව පෙරළුණාට පස්සේ අද දක්වා එජාපයෙන් මහජන ජනපතිවරයෙකු බිහි කර ගන්න බැරි වීමයි. තුන්වෙනුව තුනෙන් දෙකේ බලය ලැබුණේ 2010 දී මහින්ද ජනපතිතුමාට.
යුද්ධය දිනලා ලංකා ඉතිහාසයේ වැඩිම යටිතල පහසුකම් සංවර්ධනය කළ ජනාධිපති තමන්ගේම ලේකම්ට පැරදුනා. සිව්වෙනුව තුනෙන් දෙකේ බලය ලැබුණේ ගෝඨාභය ජනාධිපතිතුමාට. වසර දෙකහාමාරක් යන විට තනතුර දාලා ගෙදර යන්න සිදු වුණා. ඕනෑම කෙනෙකුට ඕනෑවට වඩා බලයක් ඕනෑම නෑ කියන එකයි මේ ඉතිහාස කතාව අපට උගන්වන් පාඩම.