මහ බැංකුව වැඩිකරගත් සියයට 70ක වැටුප් වැඩිවීමෙන් සියයට 25ක් අඩු කර ගැනීමට තිරණය කළත් එය සිදුකරන්නේ මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනිමට එරෙහි පනත සම්මත වීම වැළැක්වීමට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"මහ බැංකුව සිය නිලධාරින්ට වැඩි කළ අසාමාන්‍ය වැටුප් වැඩිවීම අහෝසි කරන්නත් ඉදිරියට අත්තනෝමතිකව වැටුප් වැඩි කර ගැනීමට නොහැකි වීමටත් අපි ඉදිරිපත් කළ පනතට බය වෙලා අපිව නතර කරන්න 25%කින් වැටුප් අඩු කර ගන්න තීරණය කරලා. මහ බැංකු අධිපතිතුමනි, ඒ කැරට් අලය නම් අමු වැඩියි. දිරවා ගන්න අමාරුයි. 25%කින් වැටුප් අඩු කරගෙන අපිව රවට්ටලා මේ උත්සාහ කරන්නේ අපේ පනත සම්මත වෙන එක වලක්වන්නයි.
70% වැටුප් වැඩි කිරීම අපට දැවැන්තව පෙනුනත් මහ බැංකුවේ මෑත ඉතිහාසයේ සිදු වුණු අඩුම වැටුප් වැඩිවීම පසුගිය අවස්ථා දෙකේ දී වැටුප් වැඩි කරගෙන තිබෙන්නේ 73%කින් සහ 93%කින්. මේ පනත සම්මත වුණොත් නැවත කවදාවත් මේ වගේ දැවැන්ත වැටුප් වැඩි කර ගැනීම් කර ගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තුව රවටලා මේ පනත පමා කර ගත්තොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනවා. මේ සිද්ධිය අමතක වෙනවා.
අත්තනෝමතික ලෙස වැටුප් වැඩි කර ගැනීමේ අයිතිය සදාකාලයටම මහ බැංකුවට හිමි වෙනවා. තෙල් සංස්ථාව, විදුලිබල මංඩලය, වරාය 25% - 30% වැටුප් වැඩකර ගැනීමේ පුරුද්දක් තිබුණා. ආර්ථික අර්බූදය නිසා ආණ්ඩුව මේක නතර කලා. නමුත් මහබැංකුවට මේ අත්තනෝමතික බලය පනතකින් ලබාදීලා තියෙනවා.
හේලීස් ජෝන් කීල්ස් වැනි සමාගම් සම්පත් කොමර්ෂල් වැනි බැංකු සිය සේවකයින්ට 100%කින් වැටුප් වැඩි කළත් අපි විරුද්ධ නෑ. මොකද ඒ ආයතන සතුව තිබෙන්නේ සේවකයින් මහන්සි වෙලා දුක් විඳලා හම්බ කරපු සල්ලි. මහ බැංකුව ලාභ උපයන්නේ පාර්ලිමේන්තුව පනතකින් ලබා දුන් ඒකාධිකාරියක් තුලයි. මුදල් අච්චු ගහන්න වෙන කාටවත් බෑ. රජයේ දළ විදේශ සංචිත කලමනාකාරණය වෙන කාටවත් බෑ. බැංකු තමන් ලඟ මුදල් තැන්පත් කළ යුතුයැයි විධාන නිකුත් කරන්න වෙන කාටවත් බෑ. ඒකාධිකාරියෙන් උපයන ලාභ අයිති මහජනයාටයි කියන එක අපි මහ බැංකුවට සිහිපත් කරනවා."