කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් “තිළිණ ගමගේ මහතා සහ ඔහුගේ පවුලේ අය මරා දමමු” යනුවෙන් මුහුණු පොතේ තර්ජනාත්මක ප්‍රකාශයක් පළ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂකවරයාට ඊයේ (02) පැමිණිල්ලක් කළේය.
ඉසුරු සුරවීර නමැත්තෙකු මුහුණු පොතේ පෙරේදා (01) පළ කර තිබු පෝස්ටුවක් මත පදනම්ව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල කර ඇතැයි වාර්තා වේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශයට පත් කළ ආන්දෝලනාත්මක නඩු තීන්දු කිහිපයක් විවේචනය කරමින් පාතාලයේ ප්‍රබලයන්, හෙරොයින් ජාවාරම්කරුවන් ඇතුළු පිරිස් මීට පෙර අවස්ථා ගණනාවකදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මරණ බව සඳහන් කරමින් තර්ජනාත්මක ලිපි යොමු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන වලින් අනතුරුව අතිරේක ආරක්ෂකයින් යොදවා මහේස්ත්රාත්වරයාගේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
ආන්දෝලනයට තුඩු දුන් ප්‍රසිද්ධ තැනැත්තියක් සම්බන්ධයෙන් තිළිණ ගමගේ මීට පෙර අවස්ථාවක දුන් තීන්දුවක් ඉවත දමමින් ඉහළ අධිකරණයක් ප්‍රකාශයට පත් කළ තීන්දුවක් පදනම් කර ගනිමින් මුහුණු පොතේ ‘තිළිණ ගමගේ හා ඔහුගේ පවුලේ ඥාතීන් මරා දැමීමට‘ යෝජනා කර ඇතැයිද පැමිණිල්ලෙ සඳහන් වේ.