කුලියාපිටිය මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු සම්පත් ආරියසේන මහතාව නවීන පන්නයේ දෙමහල් නිවසේ බැල්කනියේ සිරකල පුද්ගලයෙකු සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකා පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
පිළියන්දල මඩපාත පින්නවල ප්රදේශයේ මහේස්ත්රාත්වරයාට අයත් නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසේදී පෙරේදා (11) රාත්රී මෙම සිද්ධිය වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි
දෙමහල් නිවස විකුණන බවට ප්රසිද්ධවෙබ් අඩවියක පළ කර තිබූ දැන්වීමක් අනුව ගැනුම්කරුවෙකු සේ පැමිණි පුද්ගලයකු මෙම කොල්ලය සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම දැන්වීමේ පළකර තිබූ දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තිබු කොල්ලකරු නිවස බැලීම සඳහා පැමිණෙන බවට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා නිවස පෙන්වීම සඳහා මෝටර් රථයෙන් තනිව පැමිණ තිබූ බව පොලිසිය කියයි.
මෝටර් රථය නිවස ඉදිරිපිට නවතා මහේස්ත්රාත්වරයා දෙමහල් නිවසේ පහත මාලයේ ප්රධාන දොර විවෘත කර නිවසේ සෑම කොටසක්ම ඔහුට පෙන්වා ඇති අතර ඒ අතරතුර දී මහේස්ත්රාත්වරයා මෝටර් රථයේ යතුර නිවසේ පහත මාලයේ මුළුතැන්ගෙයි පැන්ටිය මත තබා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පසුව එම පුද්ගලයා මහේස්ත්රාත්වරයා සමඟ උඩුමහලට ගොස් එයද නරඹා මහේස්ත්රාත්වරයා උඩුමහලේ බැල්කනිය පෙන්වීම සඳහා එහි දොර විවෘත කර බැල්කනියට පිවිසීමත් සමගම කොල්ලකරු එම දොර වසා පහත මාලයට දිව ගොස් මුළුතැන් ගෙයි පැන්ටිය මත තිබූ මෝටර් රථයේ යතුර ගෙන එය පණ ගන්වාගෙන ඊයක වේගයෙන් පලා ගොස් ඇතැයි එම නිලධාරියා කීය.
අනතුරුව මහේස්ත්රාත්වරයා බැල්කනියෙන් පිටතට පැන පහත මහලට ප්රවිෂ්ට වී සිදුවූ සිද්ධිය ඥාතීන්ට දැනුම් දී අනතුරුව පොලිසිය වෙත සිද්ධිය දුරකතනයෙන් දැනුම් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියා පැවසීය.
එම සිද්ධිය සමගම පිලියන්දල පොලිසිය ,ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම නිවස වෙත පැමිණ විමර්ශන ආරම්භ කළහ.
නිවස මිලදී ගැනීමේ ගැනුම්කරුවකු සේ පැමිණි කොල්ලකරු එම නිවස වෙත පැමිණි ත්රීරෝද රථය හා රියදුරු පිළියන්දල නගරයේ දී පිලියන්දල පොලිසිය මගින් සිය භාරයට ගැනීමට සමත් වී ඇත.
එම ත්රීරෝද රථ රියදුරු ගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී පුද්ගලයකු මඩපාත කුලී ගමනක් රැගෙන ගිය බවත් ඔහු වෙන්දේසි ඉඩමකට ගොස් යලි ත්රිරෝද රථයෙන් පැමිණ මඩපාත හන්දියෙන් බැස ගිය බවත් ප්රකාශ කර ඇත.
මෝටර් රථය කොල්ලකෑ පුද්ගලයා කැස්බෑව මාර්ගයේ බණ්ඩාරගම දෙසට එය ධාවනය කර ඇති බවත් ඔහු කිඳෙල්පිටිය පාලම මතදී දුරකථන ඇමතුමක් ලබා ගෙන ඇති බවත් දුරකථන විශ්ලේෂණ අනුව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියකු කිය.
කොල්ලය සම්බන්ධයෙන් පිලියන්දල පොලිසියට අමතරව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.