ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම සඳහා තවත් එක් වතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන ලෙස නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත.
මෙම ඉල්ලීම තමාගේ පෞද්ගලික ඉල්ලීමක් බවත් ජනාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව හෝ නැතිනම් විශේෂ කමිටුවක් මගින් හෝ අවසන් වරට තවත් එක් වරක් මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කරන ලෙසට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
“මේක ඉතාම සංවේදී අවස්ථාවක්. හදවතට දැනෙන ප්‍රශ්නයක්. නමුත් අපි හොඳ බුද්ධියකින් මේ අවස්ථාවේදී කටයුතු කළ යුතුයි.
අපි අවුරුදු ගණනාවක් වැඩ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එතුමාගේ උපදෙස්වලට අනුව. ඒක නිසා තවත් එක් වතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් හැකි නම් සාකච්ඡාවක් කරන්න.
කොහොම වුණත් ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා. ඒක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කර ගන්න අපි කටයුතු කරමු.” යනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.
අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාගේ යෝජනාව නිවැරදි බවත් ඒ අනුව තවත් අවස්ථාවක් මහින්ද රාජපක්ෂ මහතා සමග මේ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.