ගිවිසුමක් හරහා සමීප ඥාතිවරියකට ලබා දුන් වයස අවුරුදු 4 මාස 7ක් දැරියක සැක කටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලීසිය පවසයි.
එම සැකකරු වන (මියගිය දැරියගේ පියා) අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු පහට අඩු දරුවෙක් ගිවිසුමක් හරහා වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර දැරිය හදා වඩා ගැනීමට භාරගත් 45 හැවිරිදි කාන්තාවක් ඇයගේ 19 හැවිරිදි දියණිය සහ 15 හැවිරිදි පුතාද වන බව පොලීසිය සඳහන් කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ, මාලිගාවත්ත ලක් සෙවන මහල් නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටි මොහොමඩ් රිෆ්කාන් හායිසා නමැති දැරියකි.
මියගිය දැරිය මව හා පියා සමග පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට මාස පහකට පමණ ඉහතදී මව විදේශගත වීමට පෙර දැරියව සමීප ඥාතිවරියකට නීතිඥවරයෙකු ඉදිරියේදී ගිවිසුමක් මාර්ගයෙන් විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන තෙක් දැරිය හදා වඩා ගැනීම වෙනුවෙන් මාසිකව රුපියල් 30,000/= ක මුදලක් ලබාදීමේ පොරොන්දුව මත සමීප ඥාතිවරියක වන සැකකාරියට ලබා දී තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉකුත් 5වැනිදා දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිටියදී සිහි විසඥව ඇදවැටී ඇති අතර මදවේලාවකදී වමනයද පහව ඇති අතර ප්‍රධාන සැකකාරිය විසින් දැරියව රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබූ බවත්, එහිදී හදිසි ප්‍රතිකාර ඒකකය තුළදී දැරිය පැය දෙකකට පමණ පසු මියගොස් තිබු බවද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
දැරියගේ හදිසි මරණය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේදී ඊයේ (07දා) විශේෂඥ වෛද්‍ය රාජගුරු මහතා විසින් සිදුකරනු ලැබූ බවත් දැරියගේ සිරුරේ සුව වූ තුවාල කැළැල් කීපයක් දක්නට ලැබෙන බවත් අනාවරණය කළ බව පොලීසිය කියයි.
දැරියගේ මෘතදේහය දැරියගේ පියාගේ තාත්තාට (සීයා) වෙත භාර දුන් බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව ක්රෑරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සහ ඇයගේ දියණිය සහ පුතු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක භාතික ජයසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සචිත් නාමල් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.