සැමියා බිරිඳට එල්ල කරන ලද ආරක්ෂක හිස් වැසුම් පහර මුහුණට වැදී මාස 11 සිඟිති දැරියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි
ගල්පාත බටගොඩ හරිත ගම් දොර ප්‍රදේශයේ 28 සහ 31 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවලක් අතර පැවති ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව හරිත ගම්දොර වෙළඳසැලක් ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි
පැමිණිලිකාරියගේ සැමියා වැලිගොඩ දමන්නකු වන අතර යාබද නිවසක කාන්තාවක් සමග පවත්වාගෙන යන බව කියන අනියම් සබඳතාවයක් මුල්කරගෙන මෙම ආරවුල හටගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත
පැමිණිලි කාර කාන්තාව ඒ පිළිබඳ විමසීම සඳහා එම නිවසට යාමේදී ඇය තම සැමියා සමඟ දුරකථන සංවාදයක යෙදී සිටීම සම්බන්ධයෙන් ඇයගේ දුරකථනය උදුරාගෙන අඟුරුවාතොට පොලිසිය වෙත පැමිණීමේදී සැමියා යතුරු පැදියකින් පැමිණ මඟ හරස් කර ඇයට පහර දීමේදී ඇය අත දරා සිටි සිඟිති දැරියට ආරක්ෂක හිස් වැසුම් පහරක් වැදි ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි
අනතුරුව ඒ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසියට පැමිණිලි කර අධිකරණ වෛද්‍ය පෝරමයත් රැගෙන හොරණ මූලික රෝහල වෙත තුවාල ලද දැරියත් රැගෙන පැමිණිලිකාරිය ගොස් තිබූ බව පොලිසිය කියයි
එම ආරක්ෂක හිස් වැසුම් පහරින් කුඩා දැරියගේ ඇසට ඉහළින් තුවාල සිදුවී ඇතැයිද දැරිය සහ මව මේ වන විට හොරණ මූලික රෝහලේ අංක එක වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද එම රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය
අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ