ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වී ඇති නාය යාම දැනට පතිත වන ධාරානිපාත වර්ෂාවත් සමඟ තව දුරටත් සක්‍රීය වීම. නිසාවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ට අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇති හෙයින් ආරක්ෂිත උපදෙස් ක්‍රියා මාර්ග ගන්නා ලෙසට අදාළ වගකිවයුතු සියලුම අංශ අද (10) පස්වරුවේ දැනුවත් කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූවිද්යඥ හර්ශනී පෙරේරා මහත්මිය පැවසුවාය .
මාර්ග සංවර්ධන අධ්කාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආදි වගකිවයුතු සියලුම අංශ වල නිළධාරින් මේ සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් කර තිබෙන බවත් ඇය කීවාය .
හදිසි අවස්ථාවකදී ආපදාවකදී අදාළ කටයුතු කඩිනමින් සිදු කිරිමටත්, වර්ෂාවත් සමඟ මෙම මලිත්තගොල්ල නාය යාම සම්බන්ධයෙන් නිරතුරුවම අවධානයෙන් සිටින ලෙසට එම ආයතන දැනුවත් කල බව කීවාය .
පසුගිය මාස කීපය තුළ ඇල්ල ප්‍රදේශයේ පැවති දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ හටගෙන තිබූ නාය යාම තවදුරටත් සක්‍රීය වෙමින් මඩදිය ජල පහරක් එම ප්‍රදේශයේ ගලා යන්නට වූ බවත්, අනතුරුව ඒ සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණ කටයුතු සිදු කිරිමට කොළඹ සිට පැමිණි විශේෂ භූවිද්‍යා විශේෂඥ කංඩායමක් කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ මෙම නාය යාම සක්‍රීය වී ඇති ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදු කල බවද භූවිද්‍යාඥ හර්ශනී පෙරේරා මහත්මිය සදහන් කළාය .
දැනට එම නාය යාම සක්‍රීය වී ඇති ස්ථානයේ ඉහළ එකතු වන ජලය පහලට බැස යාමට පොලොව හාරා බට දමා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් යන බව පවසන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූවිද්‍යාඥ හර්ශනී පෙරේරා මහත්මිය මේ සම්බන්ධයෙන් අදාල පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවද සදහන් කර සිටියාය .
ඇල්ල ප්‍රදේශයේ යලි ඊයේ (9දින) සිට වර්ෂාව පතිත වන අතර, මේ හේතුවෙන් මෙම කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වී ඇති නාය යාම වර්ධනය වන බවද ඇය කීවාය .
කෙසේ වෙතත් 2019 වසරේදී ආරම්භ වූ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම නිසාවෙන් එහි පදිංචි පවුල් 13 ක් ඉවත් කර දැනට ඔවුන්ගෙන් පවුල් 5ක් වෙනත් තැනක පදිංචි කර සෙසු පවුල් 8; නැවත පදිංචි කිරිමට සුදුසු ඉඩමක් සොයාගෙන නිවාස තනා ගැනිමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතින බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසීය .
ඇල්ල ප්‍රසාද් රුක්මල්