මේ මොහොතේ මෙරට සියලුම ජනතාව ජාති ආගම් කුල මල භේදයකින් තොරව සියලු දෙනා එක්සත්ව එක්සිත්ව රජයත් රාජ්‍ය නිලධාරිනුත් සෞඛ්‍ය සේවා අංශත් ආරක්ෂක නිලධාරීන් ඇතුළු පොලීසියත් ජීවිත පරිත්‍යාගයෙන් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දිය යුතු බව මල්වතු අස්ගිරි අනු නා හිමිවරුන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දී සිටී .
මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන්ගේ පණිවිඩය.
මේ අවස්ථාව මෙරට සියලු දෙනා බොහොම බුද්ධිමත්ව ගැඹුරින් සිතා කටයුතු කළ යුතු අවස්ථාවක් . මේ අවස්ථාව අපේ රට පමණක් නොව ලොව දියුණු බලවත් රටවල් පවා කම්පනයටත් ව්‍යාකූල තත්ත්වයටත් පත් ව සිටින අවස්ථාවක් .
අප රටේ රජය රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය සේවා අංශ ආරක්ෂක නිලධාරීන් මේ භයානක අවස්ථාවෙන් මහජනතාවත් රටක් මුදවා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් දිවා රාත්‍රී නොබලා සුවිශාල කාර්යභාරයක් සිදුකරමින් සිටිනවා . එම නිසා මේ අවස්ථාව සුළු කොට නොතකා රජය මගින් දෙන නියෝගයන්ට අවනත වීමට මහජනතාව වග බලා ගත යුතුයි . රජය මගින් ඉදිරිපත් කරන යම් යම් ක්‍රියාමාර්ග අපි අනුගමනය කළ යුතුයි .
සැහැල්ලුවෙන් දුරදිග නොසිතා තම වාසිය පමණක් සිතා කටයුතු කිරීම භයානක අනතුරකට අත වැනීමක් වෙනවා . මේ අවස්ථාවේ සියලුම දෙනා ප්‍රඥාන්විතව කටයුතු කිරීම ඉතා වැදගත් . ඒ වාගේ ම මේ අවස්ථාවේ මෙරට සියලූම දෙනා ආහාර පානාදිය ඉතාමත් අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වෙනවා සේම කිසිදු භේදයකින් තොරව සාමූහික සාමූහික ව මේ අභියෝගයට මුහුණදීම ඉතාමත් වැදගත් වෙනවා .
අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නා හිමියන්ගේ පණිවිඩය .
මේ අවදානම් අවස්ථාවේ මෙරට සියලුම දෙනා රජයත් ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් ගෙනයන මෙහෙවරට අවනත වී විනයගරුකව නීති ගරුකව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා . එසේම මේ වෙලාවේ යම් සැකකටයුතු රෝගී තත්ත්වයේ අයෙක් සිටීනම් එය දැනගත් වහාම බලධාරීන් දැනුවත් කිරීම ජනතාවගේ වගකීමක් .
ලෝකයේ වටිනාම සම්පත මිනිස් සම්පතයි එම නිසා මෙරට සිංහල දෙමළ ඉස්ලාම් සියලු දෙනා විශේෂ වගකීමක් ඇතිව කටයුතු කිරීම වැදගත් . අප සියලු දෙනා එක මවකගේ දරුවන් සේ මේ රෝගී කාරක තත්ත්වය හමුවේ වැඩ කිරීම ඉතා වැදගත් වෙනවා .
සොබා දහමේ වටිනාකම බුදුදහම මගින් ඉතා හොඳින් පැහැදිලි කර දී තිබෙනවා . සොබා දහම අභිබවා සමස්ත ලෝකයම ගිය නිසා ස්වභාදහම විසින් මිනිසාට පාඩමක් උගන්වා තිබෙනවා . අද සොබා දහම විසින් මිනිසුන් සිරගත කොට තිබෙනවා . එම නිසා සොබාදහමට ගරු කරමින් සරල ජීවිත ගත කිරීමට මින් ඉදිරියට මනුෂ්‍ය වර්ගයා සූදානම් විය යුතු යි . මනුෂ්‍ය වර්ගයාට අකමැත්තෙන් හෝ සරල භාවයට යාමට සිදුව තිබෙනවා .
රතන සූත්‍රය දේශනා කරනවා සේම එහි අන්තර්ගතය මිනිසුන්ට අවබෝධ කර දිය යුතුයි . මෙම පිරිතේ ගැඹුර මිනිසුන් තේරුම් ගත යුතුයි.
ෂේන් සෙනෙවිරත්න