මල නොතලා රොන් ගන්නා ආකාරයෙන් ජනතාවගෙන් බදු අය කරගත යුතුය යන්න සමාන්‍ය කියමනක් තිබෙන බවත්, එහෙත් මල් තලමින් රොන් ගන්න අවස්ථාවනුත් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (06දා) විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචනය කරන අයත් ඉන්නවා. ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙනෙන්න තිබුණත් එය ජනතාවට දැනෙන්නෙ නෑ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පටවලා තියෙන බවත් කියනවා. විදුලි බිල, ඉන්ධන මිල ඕනෑවට වඩා ඉහළ දමා ඇති බව ද කියනවා.
සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා, මල නොතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගෙන් බදු අය කරගත යුත්තේ කියලා. හැබැයි අප ඒ පිළිවෙත රකින්නේ නෑ කියලා අපව විවේනය කරනවා.හැබැයි ඒ විවේචකයන් අමතක කරන දෙයක් තියෙනවා. මල් තලමින් රොන් ගන්න අවස්ථාවනුත් තියෙන බව.
මේක අපට අපූරු පාඩමක්. සාමන්‍ය තත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දි එහෙම බෑ. එතැනදී තත්වය වෙනස්. අද අපිත් යන්නෙ අතුරේ. පහුගිය කාලයේ අපිට සිද්ධ වුණේ ආර්ථික වැල් පාලමක් තරණය කරන්න. අතුරේ ගමනක් යන්න.
අප එවැනි අනතුරුදායක තත්වයකට පත් වුණේ ඇයි? අපේ ආර්ථිකය බංකොලොත් තත්වයකට කඩා වැටුණේ ඇයි? අතීතයේ සිට විවිධ ආණ්ඩු අදූරදර්ශී තීරණ ගැනීම එක හේතුවක්. අනෙක් හේතුව විවිධ දේශපාලන පක්ෂ රජයේ සාධනීය වැඩ සැලසුම් ගණනාවකට විරුද්ධ වෙලා ඒවා කඩාකප්පල් කර දැමීම. රාජ්‍ය දේපල විනාශ කර දැමීම.
2022 සිට 2023 දෙවන කාර්තුව දක්වා දිගින් දිගටම කාර්තු 6 ක් පුරා හැකිළුණු අපේ ආර්ථිකය 2023 තුන්වැනි කාර්තුවේ සිට පිබිදෙන්නට පටන් ගත්තා. මේ වසරේ දී අපට සියයට 2 ක 3 ක වර්ධනයක් ලබා ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර තියෙනවා. රාජ්‍ය ආදායම 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී සියයට 50 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට අපට පුළුවන් වුණා.
ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාරික ආයතන ගණනාවක් වැසී ගිය බව අප දන්නවා. නමුත් ආර්ථිකය යළි පිබිදී ඒමත් සමග ව්‍යාපාරික ආයතන ගණනාවක් අලූතෙන් ආරම්භ වුණා. 2022 වසරේ ආයතන 17,819 ක් සමාගම් රෙජිස්ටාර් ආයතනයේ ලියාපදිංචි වී තියෙනවා. 2023 වසරේ ආයතන 22,376ක්. 2024 ජනවාරි මාසයේ නව සමාගම් 1,995 ක් ලියාපදිංචි වී තියෙනවා.
1977 වසරෙන් පසු ප්‍රථම වතාවට 2023 වසරේ දී ගෙවුම් ශේෂයේ, ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වුණා. මේ හේතුවෙන් පසුගිය වසරේ මෙම කාලයේ දී රුපියල් 363ක්ව පැවති ඇමෙරිකානු ඩොලරය ඊයේ වන විට රුපියල් 308 ක පමණ අගයක් කරා අවප්‍රමාණය වෙලා තිබෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා.
අත් ට්‍රැක්ටරයේ ඉඳන් විශාල බස් රථ දක්වා විවිධ වාහන වලින් අනුරාධපුරේ, සිරීපාදේ වඳින්න යන ජනතාව කොයි තරම් ද? තලවිල, මඩුපල්ලි වන්දනාවේ යන ජනතාව කොයි තරම් ද? නුවරඑළියේ විනෝද ගමන් යන සෙනඟ කන්දරාව කොයි තරම්ද? දුර ගමන් කෝචිචියක ආසනයක් වෙන් කරගන්න කොයි තරම් අමාරුද? ආසන වෙන් නොකළ පෙට්ටිවල මොන තරම් සෙනඟක් ඉන්නවද? රටේ හැම තැන සංචාරකයො මොන තරමක් ඉන්නවද?
අප මේ වන විට විදේශ ණය ඇතුළු සියළු ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා කරමින් ඉන්නෙ. අපේ බලාපොරොත්තුව මේ සාකච්ඡා නුදුරේදීම සාර්ථකව අවසන් කර ගැනීමයි.
2023 සිට 2027 දක්වා ණය නොගෙවා සිටීමේ තාවකාලික සහනයක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ 2023 ජනවාරි මාසයේ සිට 2027 දෙසැම්බර් මාසය දක්වා. ඉන් පසු 2027 සිට 2042 දක්වා කාලය තුළ ණය ආපසු ගෙවීමට අප ක්‍රියා කරනවා.
ණය ප්‍රතිව්‍යූහගත කරන සාකච්ඡා සාර්ථක කර ගැනීම මගින් වසරකට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.5 සිට සියයට 4.5 දක්වා අඩු කර ගැනීමට අපට පුළුවන් වෙනවා. බාගෙට බාගයක් අඩු කර ගැනීමක්.
අපට වැට් බද්ද පනවන්න සිද්ධ වුණා. ඒ තීරණය ඉතා කටුක තීරණයක්. අසීරු තීරණයක්. එවැනි බද්දක් පැනවීමේ තීරණය අප ගත්තේ ඉතා අමාරුවෙන්. නමුත් මේ ආර්ථික රෝගය සුවපත් කර ගැනීම සඳහා වෙන විකල්පයක් නෑ. අපට කෙටි කාලයක් මේ වේදනාව විඳින්න වෙනවා. වැට් බද්ද පැනවීම නිසා රාජ්‍ය ආදායම ශක්තිමත් වුණා. ණය ගෙවා ගැනීමේ ශක්තිය අපට ඇති බව ජාත්‍යන්තරය ඉදිරියේ තහවුරු වුණා.
රාජ්‍ය ආදායම් වැඩි වී, ආර්ථිකය පිබිදීම නිසා රුපියල ශක්තිමත් වුණා. රුපියල ශක්තිමත් වෙන්න වෙන්න ඉන්ධන ඇතුළු ආනයන භාණ්ඩවල මිල අඩු වෙනවා. වැට් බදු ගෙවන සියළු ආයතනත් දැන් රුපියල ශක්තිමත් වීමේ වාසිය ලබනවා. මුළු රටටම ඒ වාසිය ලැබෙනවා. ඉදිරියට මීටත් වඩා වාසියක් ලැබේවි.
බදු ජාලය පුළුල් කරනවා. ඒ වැඩපිළිවෙල යටතේ සමස්ත බදු ලිපිගොනු ගණන 2023 වසරේ දී මිලියන 1 ට වඩා වැඩි ප්‍රමාණයකට ඉහළ නංවා ගත්තා. මෙය සියයට 130 ක ඉහළ යෑමක්.
ආයෝජන ආකර්ශනය කරගන්නවා. ඒ සඳහා නව ආයතනයක් ස්ථාපිත කරනවා. විදේශ මූල්‍ය අංශ වෙත අඛණ්ඩ ප්‍රවේශය සහතික කරනවා. කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා. ආහාර සුරක්ෂිතතාවය යටතේ මහා පරිමාණ ගොවිපල ඇරඹීමට මේ වන විටත් විදේශ රටවල් කිහිපයක් කැමැත්ත පළ කර තියෙනවා.
උරුමය වැඩසටහන යටතේ පවුල් ලක්ෂ විස්සක් ඉඩම් හිමිකරුවන් බවට පත්වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ අහිමි කර තිබුණු ඉඩම් උරුමය ඔවුන්ට යළිත් ලැබෙනවා. දිළිඳු හා අවදානමට ලක් විය හැකි පිරිස් ආර්ථික අර්බුදයේ බලපෑම්වලින් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණය සඳහා වන වියදම තුන් ගුණයකින් ඉහළ දමන්න අපට පුළුවන් වුණා. මේ නිසා අඩු ආදායම් ලබන පවුල් ලක්ෂ 24 කට අස්වැසුම හිමිවෙනවා.
පාසැල් දරු දැරියන් ලක්ෂ 45 ක පමණ පිරිසකට සුරක්ෂා රක්ෂණ ක්රමයේ ප්රතිලාභ ලැබෙනවා. තොරතුරු තාක්ෂණය විෂයයක් ලෙස උගන්වන සෑම පාසලකටම ස්මාර්ට් පංති කාමර ලබා දෙනවා. ජනාධිපති අරමුදල යටතේ පාසල් දරුවන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ලබා දෙනවා. ජනාධිපති අරමුදලෙන් රෝගීන්ට ලබා දෙන මුදල් දෙගුණ කර තියෙනවා.
හැකිලී තිබුණු ආර්ථිකය දැන් හෙමින් හෙමින් පිබිදෙනවා. විහිදෙනවා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට පියවරෙන් පියවර ජනතාවට සහන ලබා දීමේ හැකියාව අපට ලැබෙනවා.
ව්‍යාපාරික ආයතන සඳහා පරාටේ නීතිය අත්හිටුවීමට අප පියවර ගත්තා. ඇත්ත වශයෙන්ම අපට තිබුණේ බැංකු ක්‍රමය ශක්තිමත් කරන්නයි. එසේ නොකළහොත් බැංකු ක්‍රමය කඩා වැටෙනවා. කොහොම වුණත් පරාටේ නීතිය තාවකාලිකව ඉවත් කර මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂා කළා. මේ සතියේ අපට විදුලි බිලට සහනයක් ලබා දෙන්න පුළුවන් වුණා.
ඒ වගේම ඉදිරියේදී පොත්, පාසැල් උපකරණ, සෞඛ්‍ය උපකරණ, බේත් හේත් වැනි අංග වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී වැට් බදු ප්‍රතිශතය තවත් අඩු කිරීමටත් අපට හැකියාව ලැබෙනවා.
අපි දවසින් දවස, ඉතා අසීරුවෙන් නමුත් ආර්ථිකය ශක්තිමත් කරනවා. ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න ජනතාවට තව තවත් පහසුකම් ලබා දීමට ක්‍රියා කරනවා. මේ සියල්ල කරන්නේ සැලසුමකට අනුවයි. ආර්ථිකයට බරක් වන ආකාරයේ සහන ලබා දීමෙන් නැවත අපායකට රට ඇද දමන්න අපට බැහැ. ඒ නිසා අප සියල්ල සිදු කරන්නේ ක්‍රමානුකූලවයි. විද්‍යාත්මක සැලසුමකට අනුවයි.
සමහරු සිල්ලර විසඳුම්වලින් මේ ගැටළුව විසඳන්න පුළුවන් කියා කල්පනා කරනවා. පිටරටවල සිටින ලාංකිකයන්ගෙන් ඩොලර් 10 බැගින් හෝ 100 බැගින් ලබාගන්න සමහරු යෝජනා කරනවා. ඒක හරියට ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි ලබා ගෙන ඒ ඉස්කෝල දියුණු කරන්න පුළුවන් වගේ අමනෝඥ යෝජනා. ඒ වගේ දේවල්වලින් රටක ආර්ථිකය යථා තත්වයට පත් කරන්න බැරි බව කිසියම්ම හෝ ආර්ථික දැනුමක් තියෙන අයට වැටහෙනවා.
ඉතින් මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන්නේ එක ප්රශ්නයයි.අප මේ දැන් මේ යන මගෙහිම ඉදිරියට යනවාද, නැද්ද? මේ මගෙහිම ඉදිරියට ගිහින් ආර්ථිකය ශක්තිමත් වීමේ යහ ප්‍රතිඵල අපි රටක් විදියට භුක්ති විඳිනවාද? එහෙම නැතිව මේ සැලැස්මෙන් ඉවත් වෙලා, වසර එකහමාරකට දෙකකට කලින් රට වැටී තිබුණු අසහනකාරී, බංකොලොත් තත්වයට යළි ඇද දමනවාද?තීරණය කරන්න. අපායට යළි ඇද වැටෙනවාද? නැතිනම් මේ මාර්ගයේ පාරාදීසය කරා ගමන් ගන්නවාද?
මේ මාර්ගයේම ඉදිරියට යෑම සඳහා අවශ්‍ය අණ පනත් හා නීතිරීති පාර්ලිමේන්තුව ඉදිරියේ සම්මත කර ගැනීමටත් මා බලාපොරොත්තු වෙනවා.ඒ අරමුණින් ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
මම මේ සියල්ල කරන්නේ ජනප්‍රිය වෙන්න නෙවෙයි. බොහෝ දේශපාලන කණ්ඩායම් ජනප්‍රියත්වය තකා සුරංගනා පොරොන්දු දෙනවා. සිහින මාළිගා මවන්න උත්සාහ කරනවා. ඒ අය මහ පොළොවේ යථාර්ථය අමතක කරනවා. බලය වෙනුවෙන් බොරු කියනවා.
හැබැයි මම කවදාවත් බලය වෙනුවෙන් බොරු කිව්වේ නෑ. මම වැඩ කරන්නේ මගේ අනාගතය වෙනුවෙන් නෙවෙයි. රටේ අනාගතය වෙනුවෙන්. මම වෙහෙසෙන්නේ බලය ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් නෙවෙයි. රට යළි ගොඩ නැංවීමේ අරමුණ වෙනුවෙන්.
ඉතින් අපි සමස්ත ආර්ථික සැලැස්ම මේ අයුරින්ම ඉදිරියට ක්‍රියාත්මක කර ප්‍රශ්න විසඳා ගනිමු. මුළු මහත් සමාජයම ඉහළට ඔසවා තැබීමේ ආර්ථික පිළිවෙත ශක්තිමත් කරමු. ඒ නිවැරදි ගමනට එක්වෙන්න කියා මේ ගරු සභාවේ ඔබ සැම දෙනාගෙන් ද, සියළු ලාංකේය ජනතාවගෙන් ද මම ඉල්ලා සිටිනවා.