මෘත දේහ ආදහනය කිරීම පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව නිකුත් කර තිබූ නිර්ණායකයන් වෙනස් කරමින් වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳව කටයුතු කරන ආකාරය වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.
ඊයේ (2) අරලියගහ මන්දිරයේ පැවැති සර්වපාක්ෂික නායකයින්ගේ සහ නියෝජිතවරුන්ගේ හමුව අතරවාරයේ දී කොරෝනා වංසගතයෙන් මරණයට පත්වන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ ආගමානුකූලව භූමිදානය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මුස්ලිම් පක්ෂ හමුවට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
එහිදි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙවැන්නකි,
“ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ආදාහනය සහ භූමිදානය කියන දෙකම කරන්න පුළුවන්. මීගමුවේ සිදුවීමත් එක්ක සමාජ මාධ්‍ය මහත් ආන්දෝලනාත්මක විදිහට හැසිරෙනවා. එහිදී මම ඉදිරිපත් කරපු කරුණු වලට අනුව මටත් අවලාද නගමින් ඉන්නවා.
අපි ලෝක ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවේදී මේ වගේ අවශ්‍ය නැති දේවල් වලට තර්ක කරලා වැඩක් නැහැ. මම එහෙම ආන්දොලනයක් ඇතිවෙන්න දෙයක් ප්‍රකාශ කළෙත් නැහැ.
අද හැම පක්ෂයක්ම නියෝජනය කරන මන්ත්‍රීවරු මෙතනට ඇවිත් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්ණායකයන් වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ඒ වගේම මෘත දේහයක් හරහා වෛරසය පැතිරීම මිථ්‍යාවක් කියල ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියලාතියෙනවා.
එසේ තිබියදී මෙරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නව නිර්ණායක නිකුත් කිරීම පිළිබඳව ගැටලුවක් මතුවෙනවා.
පවතින වාතාවරණය අනුව රෝග ලක්ෂණ තිබුණ පුද්ගලයින් වුණත් රෝහල් වලට යන එකක් නැතුව ගෙදරම මැරිලා යන තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් කියන එකයි මගේ අදහස” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.