යටියන්තොට, සීපෝත් ග්‍රාම නිලධාරී වසමට අයත් කොට්ටමලේ ප්‍රදේශයේ දී දඩයක්කරුවෙකු විසින් අටවන ලද කම්බි මදුවකට හසුව සිටි හොදින් වැඩුණු කිලෝ 70ක පමණ බරකින් යුත් කොටියෙකු බේරා ගැනීමට පියවර ගත් බව වනජීවී නිලධාරීහු පවසති.
බුලත්කොහුපිටිය අඩවි ආරක්ෂක කාර්යාලයේ සහය ඇතිව අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ ස්ථාන භාර පශු වෛද්‍ය නිලධාරී බී. ඒ. ඩී. සුහද ජයවර්ධන මහතාගේ මුලිකත්වයෙන් ඉකුත් 25 දින සිදු කරන ලද මෙහෙයුමකින් කොටියා නිර්වින්දනය කොට මෙසේ මුදා ගැනීමට කටයුතු කෙරිණි.
වනජීවී නිලධාරී කේ. එම්. සුමිත් ලක්ෂමන් මහතා විසින් මද්දට හුසව සිටි කොටියාට කිසිඳු හානියක් නොවන ආකාරයට කළබල ඇති නොවන පරිදි තත්ත්වය පාලනය කරමින් මුදවා ගත් බවත්, ඒ සඳහා කොට්ටමලේ ප්‍රදේශවාසීන් ලබාදුන් සහයෝගය මත මෙම දැවන්ත කොටියාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවු බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.
මෙසේ බේරා ගත් කොටියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සුදුසු විසුම් කලාපයකට නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද ඔවුහු කියති.
බස්නාහිර වනජීවී කලාප කාර්යාලය විසින් ලබා දී තිබු තොරතුරක් මත වනසත්ත්ව අඩවි සහකාර මාධව කුඹුගේ, වනසත්ත්ව නියාමක අමිල මධුශංක, ස්වේච්ඡා මාර්ගෝපදේශක මංජුල ගුණසිරි, රියදුරු ඩබ්ලිව්. ඩී. කපිල යන නිලධාරීන් හා බුලත්කොහුපිටිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ත්ව අඩවි සහකාර මධුර වියතුංග, ක්ෂේත්‍ර සහායකවරුන් වන සිසිර, නාරද යන වනජීවී නිලධාරීන් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.
ශාන් හුලංනුගේ