වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාදී බලහත්කාරය පා පරුෂ වචනයෙන් බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා නමැති අයට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. කේ. ජයවීර මහතාට නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කලේ මෙම සිද්ධියට අදාළ නඩුව අද (3දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට ඇප මත මුදා හැර සිටින, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යන අයද මෙදින විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.
යාපනයේ සිට කොළඹ දක්වා අනුරාධපුර හරහා මෝටර් රථයකින් යමින් සිටියදී සාලියපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පා පරුෂ වචනයෙන් බැන වැදුණු බවට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් මෙලෙස හැසිරී ඇත්තේ, ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා රියදුරු බලපත්‍රය සහ මෝටර් රථයේ අනිකුත් ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා සිටි අවස්ථාවේදීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව අනුරාධපුර පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව දැන ගත් විගස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය මෝසෙමක් ඉදිරිපත් කරමින් නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා මාර්ගයෙන් අධිකරණයට බාර විය.
මෙලෙස අධිකරණයට බාර වෙමින් සැකකාර මන්ත්‍රීවරයා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්රාත්වරයාට දැනුම් දුන්නේ රාමනාදන් අර්චුනා තමා මෙම නඩුවේ සැකකරු බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරයාට සහ අනුරාධපුර පොලිසියට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල් බී වාර්තාව මගින් පොලීසිය කරුණු දක්වමින් සැකකරුගේ නම ලෙස සඳහන් කර ඇත්තේ අර්චුනා ලෝචනා නමැත්තෙකු සම්බන්ධයෙන් බවයි.
ඒ අනුව රාමනාදන් අර්චුනා නමැති සැකකරු සහ අර්චුනා ලෝචනා නැමැති සැකකරු අතර නමයෙහි පැහැදිලි පරස්පරතාවයක් තිබෙන බවද සඳහන් කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ සැකකරු ලෙස රාමනාදන් අර්චුනා නමැති අය පිළිගත නොහැකි බව සඳහන් කරමින් ඔහු මුදා හැරීමට නියෝග කෙරිණ.
පසුව වැඩි දුර වාර්තාවක් මගින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය නඩුවේ නිවැරදි සැකකරු රාමනාදන් අර්චුනා යන අය බවට නම සංශෝධනය කරමින් අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඒ අනුව අදාළ නඩුවේ සැකකරු ලෙස අධිකරණය රාමනාදන් අර්චුනා බවට පිළිගනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලාස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. කේ. ජයවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා සමග නීතිඥ චතුරංග ගමගේ මහතා පෙනී සිටියේය.
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද / අනුරාධපුර බී.ජී. චතුරංග