අත් පා අහිමි වූ ශ්‍රී ලාංකික ආබාධිතයින් හට අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හදුනා ගනු ලැබු මෙත්තා පදනමේ බලපිටිය ශාථාවේ කෘත්‍රීම අත් පා සැකසීමේ මධ්‍යස්ථානය (ARTIFIAL LIMB PROJECT) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
මෙම ආයතනය ස්ථාපිත කිරීමට සහ මෙත්තා පුනරුත්ථාපන පදනමට මූල්‍ය දායකත්වය රෝටරි ගෝලීය ප්‍රදාන 2457602 යටතේ කොළඹ රොටරි සමාජය, එක්සත් රාජධානියේ ලන්ඩන් හි ගෝල්ඩර්ස් ග්‍රීන් රොටරි සමාජය සමග ගාල්ල රෝටරි සමාජය එක්සත් රාජධානියේ වුල්වහැම්ප්ටන් රෝටරි සමාජය, එක්සත් රාජධානියේ බිශොප් වොල්නම් රොටරි සමාජය සහ ජාත්‍යන්තර රොටරි දිස්ත්‍රික්ක 3220 ශ්‍රී ලංකාව - මාලදිවයින, 1130එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ඇතුලු රෝටරි ආයතනවලින් වටිනා සහභෘගීත්වයක් ලැබී ඇත.
මෙම කෘත්‍රීම අත් පා සැකසීමේ මධ්‍යස්ථානය තුලින් කෘත්‍රීම පාද පමණක් නොව දීර්ඝ කාලීන ආබාධවලට ලක්වන ජනතාවට අවශ්‍යවන රෝද පුටු ඇතුලු උපකරණ ද සකස් කරනු ලබයි. ඉතා අඩු මුදලකට මෙම නිපැයුම් ජනතාවට ලබාගත හැකි අතර, වසරකට කෘත්‍රීම පාද 100 ක් සකස් කිරීමට බලාපොරොත්තු වේ.
මෙහිදී කෘත්‍රීම අත් පා සැකසීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු එම මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රටවල් දියුණු වන්නේ කලාප වශයෙන් බවත්, කළාපයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු වල යුගයකට පැමිණ ඇති බවයි.
Globalization අද වන විට Asianization ලෙස හදුන්වන ලෝකයේ බල තුලනය ඉන්දියාවට සහ චීනයට පැමිණිම තුල එහි ආර්ථික ප්රතිලාභ ලැබෙන ප්‍රථම හා පළමු රටක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වා දිය හැකි බවත්, කවුරු බලයේ සිටියත්, කවුරු ජනාධිපති වුවත්, කවුරු අගමැති වුවත් ඉදිරි වසර 20 තුළ දී ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම දියුණූ හා සංවර්ධිත රටක් බවට කළාපයේ දියුණුවත් සමග පත්වන බව ද පැවැසීය. ඊට අවශ්‍ය පරිසරය සකස් වී ඇති බව ද කීය.
කිරිපිටි සදහා බිලියන 90 ක මුදලක් පිටරටට ඇදී යන බවත්, ඇමරිකානු ඩොලර් මිලියන 300 ක කිරිපිටි මෙරටට ගෙන්වන බවත්, මෙම කළාපයේ තිබෙන්නේ කිරි පරිභෝජනය නොව කිරිපිටි පරිභෝජනය බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. වැඩිවියට පැමිණීමෙන් පසු පිටි කිරි බොන ඒකම සත්වයා මනුෂ්‍යයා පමණක් බවත්, දියර කිරි පානය කළාට ගැටළුක් නැති බවත් නමුත් පානය කරන්නේ පිටිකිරි බවද පැවැසීය.
එය ආර්ථිකයට හොද නමුත් ශරීර සෞඛ්‍ය හොද නැති බව ද මත්පැන්, මත් ද්‍රව්‍ය මෙන්ම සීනි, කිරිපිටි ඔබගේ ජිවිතයට හානි කරයි යනුවෙන් ප්‍රචාරණ පුවරු ගැසිය යුතු බවද පැවසීය. දියර කිරි ව්‍යාපාරයක් ලෙස දියුණු කළ නොහැක්කේ කිරි ටික දොව ගන්නා සත්වයා අවසානයේ මුදලට අලෙවි කිරීමට මෙරට ජනයා කැමැති නැති නිසා බව ද එම ව්‍යාපාරයෙන් ලාභ ලැබීමට නම් අවසානයේ සත්වයා මුදලට විකිණිය යුතු වන බවද පෙන්වා දෙන ලදි.
නමුත් කර්මාන්ත ක්ෂේත්රයේ අංශ ගණනාවක් පසුගිය කාලයේ ලොකු ප්රබෝධයක් ලබා ඇති බවත්, ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සියයට 25 ක් දේශියව සිදු කරන බවත් එය සියයට 75 දක්වා රැගෙන යා යුතු බව ද පැවැසීය.
මෙම අවස්ථාවට මහලදුව තරුණෝදයාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය මහලදූවේ නන්දරතන හිමිපාණන්, මෙත්තා පුනරුත්ථාපන පදනමේ සභාපති, මහාචාර්ය එස්.පී ළමාබදුසූරිය, කොළඹ රොටරි සමාජයේ පුබුදු ද සොයිසා, වෛද්‍ය බී පනගමුව මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.