සිර මැදිරියේරඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සාදයක් පවත්වා පොලිස් සැරයන් වරයෙකුට ද පහර දුන් අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව කළුතර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයෙකුගේය.
ඉකුත් 02 වෙනිදින හෑෂ් මත්ද්‍රව්‍යය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ප්‍රශ්න කිරීමට යැයි පවසා වැඩ තහනමට ලක් කරන ලද අපරාධ අංශයේ ස්ථානාධි ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් සැකකරුව නිල කාමරය වෙත රැගෙන ගොස් තිබූූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සිරමැදිරියෙන් පිටතට ගෙන ගොස් පැය දෙක හාමාරකට වැඩි කාලයක් ගතවීම හේතුවෙන් ස්ථාන භාර නිලධාරීවරයා විසින් ගොස් පරික්ෂා කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරයකුසමග හා සැකකරු සමග නිල කාමරය තුළ මත්පැන් පානය කරමින් සිටිනු දක්නට ලැබී ඇත.
එහිදී ස්ථාන භාර නිලධාරී ලෙස කටයුතු කළ පොලිස් සැරයන් 58481 ඩි පි එල් ඉඳුල් විල් නිලධාරියා සැකකරු සිරමැදිරියට දැමීමට කටයුතු කරන අවස්ථාවේදී මත්පැන් පානය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ස්ථාන භාර නිලධාරියාට බැන තර්ජනය කර පහරදී ඇතැයිද පොලිසිය කියයි.
එම නිලධාරින් දෙදෙනාව අධිකරණ වෛද්‍ය හරහා වෙත ඉදිරිපත් කර වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයා, බීමත්ව සිටි බවට සඳහන් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
ඉහත විෂමාචාර ක්‍රියාව හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතා විසින් තහනමට ලක් කර ඇත.