“මල්ලීගේ දරුවන් උනාට මම මොවුන් හදා ගත්තේ මගේම දරුවන් වගේ, හැමදාම රේල් පාර පැනලා වැඩට යන භාග්‍යා දුව කෝච්චියේ හැපී මියගියා” යැයි පසුගියදා ගාල්ල මිනුවන්ගොඩ ප්‍රදේශයේදී දුම්රියේ ගැටී කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය තරුණියකගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඇගේ නැන්දණිය කීවාය.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, මඩපාතල, දෙවන පටුමගේ පදිංචිව සිටි භාග්‍යා සුභාෂිණී රත්නායක නැමැති 23 හැවිරිදි තරුණියකි. මෙම සිද්ධිය සම්බන්ද මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේදී පසුගියදා (02) රෝහලේ මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී.
එහිදී සාක්ෂි දෙමින් මියගිය තරුණියගේ නැන්දණිය වන මහදුර ටිලා ජයසේකර (62) මෙසේ ද කීවාය.
“මියගොස් සිටින්නේ මගේ මල්ලීගේ දියණියයි. ඇයට නංගී කෙනෙකු ද සිටියනවා. දැනට වසර 10කට පමණ පෙර මේ දරුවන්ගේ අම්මා මියගියා. ඒ වනවිටත් මගේ මල්ලී මේ දරුපවුල අතහැර ගිහින් හිටියේ. අම්මත් තාත්තත් නැති මේ දරු දෙදෙනා මගේම දරුවන් වගේ මම හදා ගත්තා. මියගිය මේ දියණිය හරිම කීකරු හොඳ දරුවෙක්. ඇය ඇල පාරේ රෙදිපිළි සාප්පුවක මුදල් අයකැමි ලෙස සේවය කළා. හැමදාම උදේට ගෙදර ඉඳලා පයින් තමයි වැඩට යන්නේ, ඒ යනවිට එළියට් පාර දිගේ ගිහින් මිනුවන්ගොඩ හන්දියට මෙහායින් රේල් පාර පැනලා යන බව මම දන්නවා. ඊයේ (01) උදේ අටට විතර මේ දරුවා රස්සාවට යන්න ගෙදරින් ගියා.ඒ වනවිටත් ඇගේ නංගී පාසැල් ගිහින් හිටියේ, මම අපේ අම්මලාගේ ගෙදර ගියා. ටික වේලාවකින් මගේ අයියාගේ දුව ඇවිත් කිව්වා භාග්‍යාට තුවාල වෙලා රෝහලට ගෙන ගිහින් කියලා. මම එයත් එක්ක ඉක්මනට කරාපිටිය රෝහලට ගියා. එවිට දැනගන්න ලැබුණා භාග්‍යා දුව කෝච්චියේ හැපිලා කියලා. ඇය පාර මාරුවෙන්න රේල්පාර අයිනේ ඉන්නකොට ඒතනින් ගියපු කෝච්චියේ අන්තිම පෙට්ටියේ පාපුවරුවේ වැදී ඇති බව දැනගත්තා. කොච්චියේ රියදුරු කියා තිබුණා මේ දරුවා ෆෝන් ඒක බලබල හිටියා කියලා. මාතර සිට ගාල්ලට ආපු මන්දගාමී කෝච්චියක තමයි දුව හැපිලා තිබුණේ. දුව හදිසි අනතුරු ඒකකයට ඇතුල් කරලා තිබුණා, ඇගේ උදරය ප්‍රදේශයට තුවාල සිදුවෙලා තිබුණා. ඇය ලොකු වේදනාවකින් සිටියත් මාත් එක්ක කථා කළා. පසුව ඇයට ශල්‍යකර්මයක් සිදුකර දැඩි සත්කාර ඒකකයට දැම්මා. එහි මැෂින් වලට හයිකරලා තිබුණා. අද උදේ මම දරුවාට බෝධි පූජාවක් කරන්න පන්සලට ගිහින් ඉන්නකොට ආරංචි වුණා ඇය මියගිය බව. ”
පශ්චාද් මරණ පරීක්ෂණය සිදුකළ ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී සී ප්‍රියනාත් මහතාගේ වාර්තාවට අනුව මෙය, දුම්රිය අනතුරකින් උදරයට සහ පාදවලට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂකවරයා තීන්දු කළේය. රෝහල් පොලිසිය මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීය. ( I J )
සිරංගිකා ලොකුකරවිට