ඉන්දියාවේ රැදී සිටින බෝරා ආධ්‍යාත්මික නායකයා හා එහි නියෝජිතයන් 45 දෙනෙකු මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බවත්, ඔවුන් පැමිණෙන දිනයක් පිළිබඳව තවමත් දන්වා නොමැති බවත් විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
'අද' කළ විමසීමකදී කොළඹගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙරටට පැමිණීම සඳහා බෝරා නියෝජිතයන් කළ විමසීමේදී පැය 72කට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයක වාර්තාද රැගෙන පැමිණෙන ලෙසත්, මෙරට යුද හමුදාවේ අධීක්ෂණය යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක කාලයක් නිරෝධයනය විය යුතු බවත් දැන්වූ බවයි.
නිරෝධායනයෙන් පසුවද පීසීආර් පරීක්ෂණයකට මුහුණ දිය යුතු බවත්, මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්ය බවද ඔවුන්ට දැන්වූ බවත් කොළඹගේ මහතා සඳහන් කළේය.
එසේම පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට ඔවුන් එකඟතාවය පළ කළ නමුත් නිරෝධායනය වීම සඳහා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක වෙනුවට ඔවුන්ට අයත් බණ්ඩාරවෙල නිවාඩු නිකේතනයකදී නිරෝධායනය වීමට අවසර ඉල්ලූ බවත්, ඒ සඳහා අවසර ලබාදුන් බවත් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එම අවසරය ලබාදුන්නද එම නිරෝධායන කටයුතු යුද හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකළ යුතු බවට දැන්වූ බවද, ඔවුන් මෙරටට පැමිණෙන්නේ පෞද්ගලික සංචාරයක් සඳහා බවද කොළඹගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.