බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.යන්ත්‍රය සහ තවත් වෛද්‍ය මාපකයක් අද (22 ) අලුයම බෙන්තොට රෝහල ඉදිරිපිට බිමදමා ගොස් තිබියදී සොයාගත් බව බෙන්තොට පොලීසිය කියයි.
ඉකුත් 18 දා රාත්‍රී අටට පමණ මෙම යන්ත්‍ර සොරාගෙන යාම පිළිබඳව රෝහලේ රාත්‍රී සේවයේ යෙදී සිටි හෙද නිලධාරිනියක විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබූ බව පොලීසිය පැවසීය.
මෙම යන්ත්‍ර සොරකම ගැන ඇල්පිටිය පොලිස් කොට්ඨාස ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් සමග පරීක්ෂණ පවත්වමින් සිටියදී එම යන්ත්‍ර පොලිතීන් දවටනයකින් ඔතා කිසිවෙකු විසින් අද මෙලෙස රෝහල ඉදිරිපිට දමා ගොස් තිබූ බව පොලීසිය පැවසීය .
ඇල්පිටිය කොට්ඨාස ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් පැමිණ මෙම යන්ත්‍ර ඔතා තිබූ දවටන ඉවත්කර එහි ඇඟිලි සළකුණු ලබාගත් බව පොලීසිය පවසයි.
ජේ.ඉඳුරුවගේ
