ගාල්ල, බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ, පොලිස් මූලස්ථානය විසින් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව හා බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක යන මහත්වරුන් විසින් ඊයේ (13) මේ බව ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට සහ ඔහුගේ නිවසට මෙන්ම නිවැසියන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කල බවද පොලිස් හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරුන් වැඩි දුරටත් සදහන් කළේය.
බූස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයාගේ කටුනායක පිහිටි නිවසට පසුගිය 11 දින සවස 5.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ලබාදෙන ලද දුරකතනයක් මගින් බන්ධනාගාර කොමසාරිස්වරයාගේ පියාට මෙම මරණ තර්ජනය කර තිබේ. මේ සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාගේ පියා විසින් කටුනායක පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.
යතුරු පැදියෙන් පැමිණි දෙදෙනා විසින් ලබාදෙන ලද දුරකතනය ඔස්සේ කතාකල හීනටියන සංඛ නැමැති අයෙකු විසින් මෙම මරණ තර්ජනය කල බවත් ‘පුතා බන්ධනාගාරය තුල දගලනවා වැඩියි, වැඩිය නටන්න එපා කියන්න, අපේ අයට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න, නැතිනම් මරා දමනවා’ යනුවෙන් තර්ජනය කල බවත් පැමිණිල්ලේ සදහන් වන බව කටුනායක පොලීසිය කියයි.
යතුරු පැදියෙන් පැමිණි දෙදෙනා තමාට දුරකතනය ලබා දුන්නේ ඩුබායි වලින් ඇමතුමක් තිබෙනවා යනුවෙන් සදහන් කරමින් බවත් බූස්ස බන්ධනාගාරය තුල සිදුකරන සෝදිසි මෙහෙයුම් නතර කරන ලෙසට පුතාට දන්වන්නැයි දුරකතනයෙන් කතා කල පුද්ගලයා ප්‍රකාශ කල බවත් පැමිණිල්ලේ සදහන් වන බවද කටුනායක පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයට වත්මන් අධිකාරිවරයා රාජකාරි සදහා පැමිණ ඇත්තේ මීට මාස කිහිපයකට පමණ පෙර බවත් බන්ධනාගාරයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුගේ පැමිණීමෙන් පසු බන්ධනාගාරය තුල විශේෂ සෝදිසි මෙහෙයුම් රැසක්ම දියත් කර තිබෙන බවත් එහිදි මහා පරිමාන හෙරොයින් ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින රැදවියන් සතුව තිබූ ජංගම දුරකතන, බැටරි ඇතුළු උපාංග රැසක්ම අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන බවත් බන්ධනාගාර ප්‍රකාශකයෙක් සදහන් කළේය. බන්ධනාගාරය තුල සිට මොවුන් දුරකතන ඔස්සේ හෙරොයින් ජාවාරමේ හා පාතාල ක්‍රියාකාරකම් වල නිරත වන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.
තෙල්වත්තේ පොඩි ලැසී, පිටිගල කැවුමා, දෙමටගොඩ චමින්ද, ෂන්සයින් සුද්දා, ඔලුමරා වැනි මහ පරිමාන මත්දව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම පාතාල නායකයින් මෙම බූස්ස බන්ධනාගාරයේ රදවා සිටී. එයට අමතරව මෑතකදි ඇපමත නිදහස් කරන ලද දැනට ප්‍රංශයේ රැදී සිටින බව කියන මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් කංජිපානි ඉම්රාන්, පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක රදවා සිටියේද මෙම බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේය.
දීර්ඝ කාලිනව බූස්ස බන්ධනාගාරයේ සේවය කල බන්ධනාගාර සේවකයින් මෙන්ම ජේලර් වරුන් පාතාල නායකයින් මෙන්ම මත් දව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබදතා ගොඩ නගාගෙන තිබෙන බවට වූ බුද්ධි අංශ වාර්තාවකට අනුව පසුගිය කාලයේ බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් රැසක්ම ස්ථාන මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ නියෝගයකට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම ස්ථාන මාරු වලදී වත්මන් සහකාර බන්ධනාගාර කොමසාරිස්වරයා බූස්ස බන්ධනාගාරයේ සේවයට පැමිණ තිබේ.
තමිඳු මධුසර ලියනගේ