දඹගල්ල පොලිස් වසමට අයත් දැලිවපාර පිටතලාව පදිංචි දෙදරු පියෙකු බිරිඳ රටයෑමට සූදානම්වීම පිළිබඳව සිත්තැවුලට පත්වී ඊයේ (21) වෙනිදා වසබී සියදිවි හානිකරගෙන ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි.
මෙලෙස වසබී සියදිවි හානිකරගෙන ඇත්තේ ඉහත ලිපිනයේ පදිංචි සුබසිංහ ආරච්චිලාගේ චානක මධුෂාන් (30) නැමති දෙදරු පියෙකි.
මියගිය අයට අවුරුදු හතේ සහ තුනේ දරුවන් දෙදෙනෙකු සිටින අතර බිරිඳ විදේශ රටක රැකියාවක නිරතවීම සඳහා යාමට සූදානම්ව සිට ඇත.
ඊට සැමියා විරුද්ධවී ඇති අතර එසේ නොයන ලෙසට ඇයට දැනුම්දී තිබේ. ඒ පිළිබඳව දඹගල්ල පොලීසියට ඔහු විසින් පැමිණිල්ලක්ද කර ඇත.
ඔහුගේ අයියා විසින් මල්ලි වන මියගිය අය නිවසේ සිට මීටර් විසිපහක් පමණ ඈතින් පිහිටි මිරිස්වගාව අසල කඳුගැටයක් පාමුල මුණින් අතට වැටී මියගොස් සිටින බවට පැමිණිලිකර තිබේ.
ඒ පිළිබඳ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂාකිරීමේදී මියගිය ස්ථානයේ සිට මීටර් පනහක් පමණ ඈතින් තිබී මාර්ෂල් වර්ගයේ කෘමිනාශක කුප්පියක් සොයාගෙන ඇත.
මරණකරුගේ බිරිඳ විසින් මියගිය අයගේ අයියාට දැනුම්දීමෙන් පසු ඔහු විසින් මෙලෙස පොලීසියට පැමිණිලිකර තිබේ.
මියගිය අයගේ මරණය පිළිබඳව මහේස්ත්රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණය 22 වෙනිදා මොනරාගල දිස්ත්රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
මොණරාගල සුමනසිරි ගුණතිලක