රජය නොමිලේ ලබා දෙන සහල් තත්ත්වයෙන් බාල සහ මුදලට ලබා දීම් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ සිදුකොට ඊට අදාළ වාර්තාව සතියක් තුළ තමන් වෙත ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දි තිබෙන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජන කණ්ඩායම් ඉලක්ක කොට ඔවුන් සඳහා සහල් සහනාධාරයක් ලබා දීමට රජය පසුගියදා තීරණය කරණු ලැබූ බවත්, ඒ අනුව කාණ්ඩ කීපයක් යටතේ මෙම සහනාධාරය ලබා දීම මේ වන විට දිවයින පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙන බවත් එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය ඊයේ(28දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මේ වැඩසටහන යටතේ පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ බෙදා දෙන ලද සහල් තත්ත්වයෙන් බාල ඒවා ලෙස ඇතැම් අය චෝදනා කර තිබෙන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අදාළ සහල් මුදලට විකිණීමක් සිදුව ඇතැයි චෝදනා එල්ලවී තිබෙන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳව සොයා බලන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වෙත උපදෙස් ලබා දී ඇති බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ සිදුකොට ඊට අදාළ වාර්තා සතියක් තුළ කඩිනමින් තමන් වෙත ලබා දෙන ලෙසත්, ඉදිරියේදී මෙම වැඩසටහන වඩා විධිමත්ව සිදුවනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් යෙදවීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවත්ය.