බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් මාස 08ක පමණ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ රඳවා සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (25) නියම කළාය.
රුපියල් ලක්ෂ 50ත් වටිනා ඇපකරුවකුගේ ශරීර ඇපයක් මත කපිල වික්‍රමනායක මහතා මුදාහැරීමටද ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරිය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළාය.
තමා රිමාන්ඩ් බාරයටපත් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරමින් තමාට ඇප නියම කරන්නැයි ඉල්ලා වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක් පිළිගනිමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා දුන් නියෝගයකට අනුව වික්‍රමනායක මහතා මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමාට ඇප නියම කරන්නැයි ඉල්ලා වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමට එරෙහිව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ඉවත දමමින් අදාළ නියෝගය අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරිණී.
සිද්ධිය වන විට වික්‍රමනායක මහතා විදේශගතව සිටීම සහ ඔහුට එරෙහිව නව සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීමට සමත් වී නැති බවත් වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් සාධාරණ හේතු ඇති බව වගඋත්තරකරුවන් අධිකරණයේ ඔප්පු කිරීමට අපොහොසත් වූ බවත් සඳහන් කරමින් ඔහු ඇප මත මුදාහැරීමට නියම කළ අභියාචනාධිකරණය වෛද්‍යවරයාට එරෙහිව නව සාක්ෂි ඉදිරිපත් කර විමර්ශන කටයුතු කිරීමට මෙම ඇප නියෝගය බාධාවක් නොවන බවද සඳහන් කළේය.
වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ කපිල විකමනායක මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය, අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා, පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා මහතා සහ සරත් ජයමාන්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුන් වන නිර්මලන් විග්නේෂ්වරන් මහතා සහ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පෙනී සිටියහ.