කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ අඹේපුස්ස 59 කණුව අසල ඊයේ (09දා) රාත්‍රී පෞද්ගලික බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව වරකාපොළ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ ලූල් කදුරු වත්ත ,දෙල්තොට ලිපිනයේ පදිංචි ක්‍රිශ්ණ කුමාර් රොෂාන් (29) හා එම ලිපිනයේම පදිංචි කුක්කු සාමි (42) නැමති පුද්ගලයින් දෙදෙනෙකු වන අතර එහි ගමන් ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වරකාපොළ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ,ඉන් අසාධ්‍ය තත්වයෙන් පසු වූ එක් අයකු කොළඹ ජාතික රෝහල වෙතද අනෙක් තුවාලකරු කෑගල්ල මහ රෝහල වෙතද මාරුකර යැවූ බවත් වරකාපොල පොලිසිය පවසයි.
පෞද්ගලික අර්ධ සුඛෝපබෝගී බස් රථය කොළඹ සිට වවුනියාව දෙසට ධාවනය වෙමින් තිබියදී නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය එහි රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් දකුණු පැති මං තීරුවට ගොස් නියමිත තීරුවේ පැමිණි බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.
