වාහන ආනයනය සම්බන්ධයෙන් 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කෙරුණු කැබිනට් පත්රිකාවකට අනුව අලුතින් ආනයනය කෙරෙන වාහන සඳහා එක් කර ඇති නව බදු වර්ග හතරක් හේතුවෙන් නව වාහන ආනයන බදුවල වටිනාකම සීයට 400 - 500 අතර අගයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්රසාද් මානගේ මහතා පවසයි.
අලුතින් වාහන ආනයනය කිරීමේදී අය කරන බදු පිළිබඳව ජනාධිපතිවරයා පසුගිය 11 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය. “ජනාධිපතිවරයා නිකුත් කළ මේ ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ එක්තරා තීරු බදු සම්බන්ධයෙන් පමණයි. ඒත් මෙම වාහන ආනයනය සම්බන්ධයෙන් 2024 සැප්කතැම්බර් 12 වැනිදා නිකුත් කෙරුණු කැබිනට් නිවේදනය මගින් වාහන ආනයනයේදී අය කරන බදු වර්ග හතරක් පිළිබඳව ඇතුළත් වෙනවා.
\ඉන් පළමු වැන්න වාහනයේ එන්ජිමේ ධාරිතාව අනුව අය කරන තීරු බද්ද. ජනපතිවරයා නිකුත් කළේ ඒක. ඊට අමතරව විශේෂ ආනයන බද්දක් වාහනයේ වටිනාකම මත තීරණය වෙනවා. ඒ වගේම සුඛෝපභෝගී බද්ද ඇතුළත් වෙනවා. මෙම බදු තුන සමගින් වරාය ගාස්තු ඇතුළුව CIF ගාස්තුඑකතු වෙලා, ඊට උඩින් තවත් සීයට 18ක වැට් බද්දක් එකතු වෙනවා.“
අලුතින් ආනයනය කරන වාහනයක බදු පිළිබඳව තීරණය කිරීම මෙම බදු වර්ග හතර අනුව සිදුවන බව මානගේ මහතා පවසයි. එහෙත් මෙතෙක් මෙම බදුවල අගයන් රජය මගින් අනාවරණය කර නොමැති නිසා පැහැදිලි අදහසක් ලබා දිය නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
“කොහොම වුණත් මේ බදු වර්ග සියල්ලම එකතු කළාම,සීයට 400ක 500 ක වගේම සමහර වාහන සඳහා සීයට 600ක බදු ඉහළ යාමක් සිදු වෙන්න පුළුවන්.“ ඒ මහතා පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මානගේ මහතා, “රජය සැලසුම් කර ඇති ආකාරයට ලබන පෙබරවාරි මාසයේ සිට මේ වාහන ආනයන සීමා ලිහිල් කිරිම කරන තෙක් අපිට ඉන්න වෙනවා.ජනතාවට කියන්නෙත් කලබල වෙලා කාටවත් මුදල් ගෙවන්න එපා. වාහන රටට එනකම් ඉමු.
එතකොට තරගකාරීත්වය ඇති වෙලා වාහන මිල තීරණය වේවි. රජය වසරකට වාහන ගෙන්වන්න ඩොලර් බිලියන 1ක් නිදහස් කරන බව ප්රකාශ කර තිබෙනවා. ඒ කියන්නේ වසරකට වාහන 40,000ක් පමණ ගෙන්වීමේ හැකියාවක් තිබෙනවා.“ යනුවෙන්ද පැවසීය.